Tuesday, April 9, 2024

සුදු සාරි රතු වූ හැටි

 තනිය නොබලම තනි කරපු තැන

කිරි බිලිදු බර තනිව දැරුවම

ගෑනු මොහිනියෝ වෙනවමයි


සුදු සාරි රතු පාට කරගෙන 

කොල ලයිට් රතු පාට වෙන තැන

අසුන් පිට නැගි රාජ කුමරුන්

වඩින තුරු මග රකිනවාමයි


කැන්දගෙන යන රාජ කුමරුන් 

පුරෝහිතයන් ගෝල සෙබළුන් 

රතු සාරි තව රතු පාට කර

පනම් දෙක තුන මිටෙහි මොලවයි


පස්ස නොබලම හතිය නොබලම

රෙද්දකින් ඇති හිතේ නිරුවත

වහන්නට බැරි බවත් දැන දැන

රෙද්ද අන්දන බිලිදු නලවන

පිරිමි ඇත්දැයි සොය සොයා යයි







අලුත් පොරොන්දු

 ඔයා බිදපු මගෙ හිතත් හරියට 

අපෙ ගමේ තාර පාර වගේ...

ඒ කීවෙ...?

තලල තලල හැම තැලුමකින්ම 

හයි වෙනව

තාර දාපුවම ඔක්කොම වැහිල යනව

හබැයි ඉතින් වැහි කලෙට ආයෙම පෙගිල දරා ගන්නම බැරි ගන් අතුරෙදි කඩාගෙන යනව ..

ආයෙ අලුතෙන් හ්දන්න් කොයි කාලෙක හරි චන්දයක් එනක්ල් ඉන්න වෙනවා..

මන් මේ ඉන්නෙ අලුත් චන්දේ එනක්ල්

මොනවාද අලුත් පොරොන්දු කියල දැනගන්න.

ආදරේ උපාධිය

 ඔව් හැම අම්මෙක්ම ගුරුවරියක්,

ආදරේ නම් මුල්ම පාඩම 

හිත් පොතේ සටහන් කර ලූ

අම්මා නම් ගුරුවරියක් ....

නව මසක් ලද උපාධියෙන්

අවසන් විබාගය ඉස්පිරිතාලයේ දි සමත් වූ

අදටත් එක පිට එක විබග ලියන

ආදර විශේශවේදී උපාධියෙන් 1st class ගත් 

රැකියාවක් මිස පඩියක් නැති 

" අම්මා නම් ආදරය පිලිබද උපාධිදාරී 

ගුරුවරියක් "

Saturday, December 17, 2022

වානේ මල්

 


                                                                          සෙවිල්ල

මම ඇත්තටම ආස කළා ගම ගැන හොයන්න. ඊටත් වඩා හිත් ඇතුළෙ සැරිසරන හංගිච්ච රහස් ගැන හොයන්න. පොත්පත්වලට වඩා රහස්, රසබර කතා මිනිස්සුන්ගෙ හිත් ඇතුළෙ හැංගිලා තියනව. සමහර ඒව කතන්දර වෙලා එළියට එනව. තවත් සමහර ඒව මිනිස්සුන්ගෙ හිත් අස්සෙම පොළවට පස් වෙලා යනව. ත්‍රාසජනක කතාවක වගේ රහස් හොයන්න ලෝකය පුරා ඇවිද්දෙ නැතත් මං දැනන් උන්න රහස් පිරිච්ච ගුහාව තිබිච්ච තැන...............

ඒ අත්තම්ලගෙ ගෙදර.......

ගෙයි ඉස්සරහ උළුවස්සෙ ඉදල  මිරිස්ගල ළඟට යනකල්ම රහස්.. අපේම අතීතෙ රහස්.... මං හොයන්න ආස කරපු රහස්.......  


...................................


ගෙයි මිදුලට ඇහෙන තරමට දමපු රේඩියෝව තාක්ෂණෙන් පිරුණ කොයි තරම් දේ තිබුණත් අත්තම්මට රසයක් ගෙනව. ගෙයි දොරකඩ වතුසුද්ද ගහේ මල් අාතගෙ ගෙලේ පළදන දා ඉදල රේඩියෝව ආ ගිය අතක් හොයා ගන්න නෑ. අත්තම්මගෙ හිත රිද්දන්න බැරි කමට මමත් ඉන් පස්සෙ ඒ ගැන අහන්න හිතුවෙ නෑ......

මම ආදරය ඉගෙන ගත්තෙ එතැනින්....

අාතයි, අත්තම්මයි ඒ තරමට ආදරෙන් උන්න. ඒක මතුපිටින්න ඔපගැන්විච්ච බොළඳ ආදරයක් නොවුනත් ඇතුළතින් සවිමත් අපූරු බැඳීමක්. පිරිමියෙක්ගෙන් ඉටු විය යුතු යුතුකම් ආතා අකුරටම ඉටු කළා. අත්තම්මට කිසිම දාක කෑමක අඩුපාඩුවක් කියන වගක් මගේ තාත්තාවත් අසා නොතිබුණේ එබැවින් විය යුතුයි. ආතා හැම වෙලේම කීවේ ගෑනියෙක් ඉන්නෙ පිරිමින්ගෙ බැල මෙහෙවර කරන්න නොවන වග. සුදුම පැහැ සරොම සහ කමිසය අඳින ආතා පැරිස් පවුඩර් සුවඳ අමතක කරන්නේ වෙලට යන විට පමණි. ගතින් මෙන්ම හිතින්ද පිළිවෙල ආතා පන්සල් නොගියත් සිල් රැක්ක මිනිහෙක් වග ගමම දැනන් උන්න.


 ආත ඉස්සර අපේ ගම ගැන අපූරු කතා අපිට කිව්ව. ගමේ දේවාලෙ හැඳුන හැටි ගැන හරි පුදුම කතා.ඇත්තටම මේව කතන්දර නැත්නම් කතාද කියල මට තවමත් ප්‍රෙහේලිකාවක්. ඒ කොහොම වුනත් මමත් ඒව තදින් විශ්වාස කළා.

අපේ ගමේ මිනිස්සු ගම් බාර දෙවියන් විදියට සලකන්නෙ කබලෑ දෙයියන්ව. ඒ වෙනුවෙන් ගම මැද  දේවාලයක් තියනව. ඇතුළු වන පාර අසබඩ තනන ලද අශ්ව ප්‍රතිමාව ගමටම අමුතුම ගාම්භීරත්වයක් එක් කළා. නුග ගස් පෝළිමක් දිගේ අැඳුන පටු මග දේවාල භූමියට ගම එක් කළා. දෙවොල අසලම තිබුණු සවිමත් වැටකින් වට කර රකින ලද කළු ගල් පර්වතය අසල නිතරම දැල්වෙන පහනින් ඒකාලෝක වුණා. ඒ කළු ගලින් තමයි මේ කතාව ඇරඹෙන්නෙ. මේක සියවස් ගණනාවකටම පමණ එහා කතාවක්. 


..............................................................


අපේ ගමේ දවසක් නොදන්න අමුත්තෙක් සැරිසරල තියනව. ඒක දැකපු ගමේ මිනිස්සු මේ කවුදැයි නොදැන ඒ අමුත්තව අල්වෙගෙන අර මං පෙර කීව කළු ගල් පර්වතයේ බැඳ තබල තියනව. ඉන් මත්තෙ ටික මොහොතකින් මේ අමුත්ත අතුරුදන් වෙලා හරි අපූරු සිද්ධියක් වෙල ගමට නොනවත්වා වැස්ස ඇඳ හැලිල. බය වුණ ගම්මු මේ වැඩිය ගම්බාර දෙයියන්ට අප කළ අපහාසයට දඬුවම කියල දෙස්දෙවොල් තියල වැඳ වැටිල අර ගල් පර්වතය ළඟ පූජා පවත්වල තමයි වැහි නවත්තගෙන තිවෙන්නෙ. අර ගලේ කඹයකින් බැඳ තබපු හන්ද "කඹ ලෑ" යන නමින් කබලෑ මුත්තා යන නමින් නම් තබල අදටත් පුද පූජා පවත්වනව.  


............................................................................

ආතම්මලෑ ගෙදර හරිම පිළිවෙලයි. ටයිල් පොළව ලස්සන ලස්සන පින්තූර, නැතත් හරිම එළියයි. ගෙට ඇතුළු වෙන තැනම එල්ලපු බුද්ධ පින්තූරය ළඟ හැමදාම උදේ හවා නොවරදවාම බුදු පාන දැල්වුනා. ගෙයි දොරකඩ ඉහළින් එල්ලාපු සීවලී හාමුදුරුවන්ගෙ පින්තූරෙන් ගෙටම සරු ඵල ගෙනල්ල අඩුපාඩු නැති වන බව අත්තම්ම විශ්වාස කළා. මකුළු දැලින් හැඩි නොවුනු රතු උළු වහලය අයිනට වන්නට කුඹුරින් කපන ලද මුල්ම වී මිට දෙයියන් වැඳුමට යන්නට එල්ලී තිබුණා. පසෙක තබපු මඟුල් පොටෝව අත්තම්මත් ආතත් හිනැහී උන්න අව්‍යාජ සිනහවකින්. නොකපන ලද උඩු රැවුලත් සිහින් දිගටි මුහුණ ඔපවත් කළ අතරම සුදු පාට නැෂනලයෙන් අමුතු ගෞරවාන්විත බවක් එක් වෙලා තිබුණා. මේකප් තට්ටුවකින් හැඩ නොවුණු අත්තම්මාගෙ මුහුණ මට පෙනුනෙ පැරණි නිළියක් වගෙයි. ඒ තරම් ලස්සනයි. සුදු ඔසරියකට දෑතින් ගත් ඇන්තූරියම් මල් පිවිතුරු බව ඔපවත් කළා වගේම කරේ බඳින ලද කොත්මල්ලි ඇට රැස් කර ගොතන ලද වන් තැල්ලකින් හැඩ වෙලා තිබුණා. ඒ මාලය එකල මුදලින් රුපියල් පන්දහසකට ආත හිතුමතේ විකුණාපු එක ගැන අත්තම්ම අදටත් දුක් වෙනව. අත්තම්ම කියන්නෙ තමන්ගෙ කියල කාටවත් ඒක මිලට ගන්න වත්කමක් තිබුනෙ නැහැ කියලයි.


සාලය ඉහළින් එල්වා තිබුණ බට්ට ඔරලෝසුව නිවසටම අමුතු පෙනුමක් එක් කළා. පැයකට වරක් බට්ට නාද වන එය හරියටම වෙලාව පවසන මහල්ලෙක් ගානයි.   " ටින්...ටින්...ටින්..." 

වෙලාව තුනයි දරුවෝ.. අත්තම්ම මුමුනණව.  ඒකත් එක්තරා විදියක රහසක් කියලයි මට දැනුනෙ. සාලයෙන් එක් කාමරයකට යන මග නිමවෙලා තිබුණ. ඒ අපේ තාත්තලත් කුඩා කලෙ ඉදපු මතක ගොඩක් පිරුණු තැනක්. වැඩියෙන් අත්තම්මට. අත්තම්ම මඟුල් සාරියෙන් මේ ගෙදරට පය තිබ්බ දා ඉදල වුනු රසවත් සිදුවීම් ගොඩක් ඒ මතක අතර ගොනු වෙලා තිබුණ. 

ඒ කාලෙ සෙරෙප්පු අපි අද පාවිච්චි කරනව වගේ පාවිච්චි කරල නෑ වගේම එහෙම පාවිච්චි කලා නම් ඒ විශේෂ ගමනකට විතරයි. ඒ වගේම නැන්දම්ම ලේලි අරගලත් ඒ කාලේ හරි දරුණුවටම තිබිල තියනව. කොහොමින් හරි වැස්සට ළිද ළඟ උල්දිය ගලල තිබ්බ දාක අත්තම්ම කළෙත් අරන් ළිඳට ගිහින් සෙරෙප්පුත් දාගෙන, ඕක දැකපු ආතගෙ අම්ම හරි ලස්සන ඇනුම් පදයක් කියල තිබ්බ.

" ආවෙ තුත්තිරි අල්ල අල්ල. යන්නෙ තංගුස් අල්ල අල්ල.."

ඒ කාලෙ අත්තම්මට හිත රිඳුනත් එතනත් තිබුණ අමුතු බැඳීමක්. අදටත් අපේ අත්තම්ම ඈට වරදක් නොකියන තරමට. 

දම් පැහැ මල් වැටුණු සුදු පැහැ චීත්තයත්, සුදු පැහැ අත් බෝරිච්චි දමපු හැට්ටෙනුත් සැරසුනු අත්තම්මගෙ මුවෙ නැෙගන සිනහව අදටත් හරිම සිරියාවන්ත බවක් පෙනුන. අත්තම්ම තනියම ගෙවන ජීවීතේට අපේ තාත්ත කොයිතරම් දොස් කිව්වත් ඈ ඒ මතක තනි කරල එන්න කැමති උනේ නෑ. ඇ ඒ තරමටම ඒ මතකයන්ට ආදරය කළා. මම එහි යන හැමදාම මට කඩචෝරුවක් හදල දෙන්න ඈ අමතක කළේ නම් නෑ.


"අද මොනාද අත්තම්ම හදන්න යන්නෙ.?"


"මම බැලුවෙ දරුවො අද අග්ගලාවක් හදන්න...."


"අපි කට්ලට් හදමුද?" මම යෝජනා කළා.


අත්තම්ම ඒකටනම් කැමති වූණේ නෑ. අනේ දරුවො අද කෙම්මුර දවස. ඒ මදිවට අද පත්තිනි සලඹ ගමට වඩම්මල ආශිර්වාද ගන්න දවස. පිළී ජාති හදන්න හොඳ දවසක් නෙවෙයි අද. අත්තම්මගෙ ඒ ආදර බර වචනවලට මටත නොදැනි මං හීලෑ වුණා. අත්තම්ම ගෙට ගිහින් මට කොළයක් ගෙනත් දුන්න. 

දැන්වීමක්.....

මම හයියෙන කියෙව්ව.

        

 චාරිත්‍රානුකූල පොර පොල් ගැසීමේ                          

            මංගල්‍යය

2023 වර්ෂය ගම්වාසී රටවාසී සියලු දෙනා හට මතු බුදු වන පත්තිනි අමමාගේ සලඹ ගමට වඩම්මවා ආශිර්වාද ලබා ගැනීම සඳහා මාදෙල්ගමුව ලයනල් මහතාගේ පොරපොල් කණ්ඩායම සහ කටුපොත තිලක මහතාගේ පොරපොල් කණ්ඩායම 2022/12/24 වන සෙනසුරාදා උදේ 9.00ට රද්දලාන නාගම ශ්‍රී රතනජෝත්‍යාරාම විහාරස්ථානයේ දී සිදු කෙරේ. මේ මහඟු කාර්යය දැක බලා දේවාශිර්වාදය ලබා ගැනීමට සියලුම දෙනාට මෙයින් ඇරයුම් කරමි. දෙවි රැකවරණයි....!

                           මෙයට,

                         ලේකම්

                දායක කාරක සභාව 

    රද්දලාන, නාගම ශ්‍රී රතනජෝත්‍යාරාම  විහාරස්ථානය


අනේ අත්තම්මෙ අපිත් යමුකො.

අත්තම්ම හා කියල අනුමත කරන්න වගේ ආදරෙන් හිස සිම්බා.


සුධී....

Friday, December 9, 2022

වානේ මල්

පළමු දිගහැරුම


කිරි දානෙ

සුදු ඇඳගත් ආත්තම්මලාගෙන් ගෙයි මිදුල වැසී තිබුණා. කිරි ඉද්ද මල් වතුසුද්ද මල් දෑතම ඉඹගෙන උන්න. කිසිම කසු කුසුවක් නැතිව වටපිටාවත් හරිම නිහඬයි, සිල් අරගත්ත ගානට. මුහුණු පුරාම සිහින් සිනහ රැලි එක්කල කැටි වෙච්ච පින් පාට. හැමදේම සූදානම් කරල අහවර වෙච්ච අම්ම කුස්සිය පැත්තෙ ඉදල කඩිමුඩියෙ දුවගෙන ආව ගේ දොරකඩට...

පත්තිනි මෑණියන්ගෙ පිහිටයි..! අපි මේ කටයුත්ත පටන් ගමු එහෙනම්. ඉදිරියෙන්ම උන්න අත්තම්ම කිව්ව.
වතුර භාජනයත් තියාගෙන දොරකඩ උන්නෙ මං. එකත් මට හරි අසීරු කටයුත්තක්. සුදුම පාටින් මල් වැටිච්ච චීත්ත රෙද්දට සුදුම පාට හැට්ටයක් අඳල කිරි සුදු සලුවක් ගෙල පුරා එතිල. ඒක හරි අපූරුයි.
අත්තම්මලාගෙ පාද දෝවල සාල හරි පිළිවෙලට හදල තිබ්බ පැදුරු එක්ක ඉදිරිපිටින් උස් ආසනේක පිහිටවල තිබ්බ බුදු පිළිමෙ ළඟ බුදු පහන දැල්වුනා. හඳුන්කූරු සුවඳ ගේ පුරාම පැතිරුනා. තම තමන්ගෙ වයස් පිළිවෙලට ඉඳ ගත්තු අත්තම්මල බුදුන් වඳින්න අපිටත් ආරාධනා කළා. හැමෝගෙම හිත් වගේම දෑත් බෑ නොකියම නලලත මුදුන් වුණා.
අත්තම්මලාගෙ දෝතින් වැඩිය සුදු මල් පොකුරු බුදුන් වඳින සැටි මම ඇස් පිය නොහෙලා බලා උන්න. පහන දැල්වෙන අසලම පත්තිනි මෑණියන් වැඩ ඉන්නව. කාන්තාවකගෙ තියෙන්න ඕන ඉහළම ගති ඈ ළඟ... අපේ අත්තම්ම මට කියල දීල තිබ්බ.
.....................................................................
ඈ ඇත්තටම ආදරණිය කාන්තාවක්. අන් අයට පිහිට වන, ආදරයට ආදරයම දුන්නු. අඹ ගෙඩියෙන්, නයි කඳුළෙන් උපන් හැටි, ඈට වුණු අසාධාරණයට වම් පියවුර පොළොවෙ ගසල ඈ මුළු පඬි පුරයම ගිනිබත් කළ හැටි අත්තම්ම මට කියල දීල තිබ්බ. දහය වසරෙ ඉතිහාසෙ පොතේ තිබ්බ හැටියට නම් ලංකාවට මේ පත්තිනි දේව වන්දනාව ආවෙ ගජබා රජ්ජුරුවන්ගෙ කාලෙ. පාද සලඹ අතින් ඔසවාගෙන රන්වන් සිරුරින් ඔප වැටුණු ඕතොමෝ හැමදාම අපේ බාරහාරවලට පිහිට වුණ බවත් මා දැනන් උන්න. එක් වරක් මට මතක ඇති කාලෙ අපෙ ගමට ආපු නියඟෙකින් ගම බේර ගන්න ගම් කෙරවළ නුග ගහ ළඟ පත්තිනි මෑණියන්ට බාරහාර වෙලා දින දෙකෙන් ගමට වැස්ස කඩන් වැටුනා. ඒව මම අහපු දේ නෙවයි මම දැකපු දේ. ඒ වගේම එදා ගමේ ආරවුලකුත් සිද්ධ වුනා. 
අපේ ගම අදටත් දෙකඩ වෙච්ච ගමක්. ඇත්තටම ඒ ගඟකින්වත් පවුරකින්වත් නෙවෙයි මිනිස්සුන්ගෙ හිත්වලින්. ගමෙ පොදු වැඩකදි ආරවුල් ඇති වුනේ ඒ නිසයි. බාරෙ ඔප්පු කරන්න ගමෙ එක් කොටසකට ආරාධනා නොකෙළ ඒ අයගෙ පා හෝදන එක මදි කමක් කියල හිතලලු ඒ අයගෙ කුලේට. අපේ තාත්ත තරමක් කෙන්තියන් කියනව ඇහුනා. අපේ අම්මටත් බාරෙට බුලත් කොළයක් ලැබිලත් තාත්ත අම්ම බාරෙට හිඳ ගන්නවට අකමැති වුණේ ඒ නිසාම වෙන්න ඇති කියල මට හිතුණ. බාරෙට ආරාධනා කරන බුලත් කොළේ පිළිනොගන්න එක වරදක් බව දැනන් උන්නත් මෙහෙම තැනකදි ඒක වරදක් නොවන බව ඔවුන් දැනන් උන් බවත් මට හොඳහැටි වැටහුණා.
කොහොම වුණත් පත්තනි මෑණියන්ගෙ පිහිට ගමට කවදත් තිබුණ. අද අපේ ගෙදර මේ බාරෙ ඔප්පු කරන්නෙ මගෙ උපන්දිනේ වෙනුවෙන්. ඒක මං පුංචි වයසෙදි ඉදල කරන චාරිත්‍රයක් වගේ මට දැනෙන්නෙ. කොහොමින් කොහොම හරි දැන් මේ කටයුත්ත හරි අපූරුවට කෙරි ගෙන යනව.

.......................................................................

අඹෙන් උපන් පත්තිනි            දෙවියන්ටයි
සමන් දෙවිඳු සහ කඳ                සුරිදුන්ටයි
නාග පතිනි යන හැම ග්‍රහ         දෙවිදුන්ටයි
වැඳ වැඳ පින් දෙමි නිවන්.          දකින්නයි

කලක් වෙලේ සිට ඇප කැප         වෙනවා
ගොම පිරි බඩගා පිරිසිදු               වෙනවා
නොයිඳුල් දානේ පින්               පමුනනවා
පත්තිනි අම්මා මතු                බුදු වෙනවා  

නිලඹ පලයෙන් යුත්
ගිනි මල් සලඹ දරමින්
ගිනි මාල පටගෙන්
මෙ අප දෙන පින් ලබන්නට එත් .............................


දින ගනනාවක් තිස්සෙ පිළියෙල කරපු දෙයියන් කැවුම්, කොන්ඩ කැවුම්, අතිරස, කොකිස්, අලුවා, වැලිතලපත් උදෑසනම ගමේ නැන්දල කඩිමුඩියෙ හදපු කිරිබත්, කිරිපැණි වගේම වත්ත පහළ වලට මුවා වෙලා දුමට බයේ ඉදුන කෙසෙල් ගෙඩිත් පූජාවට සූදානම් වෙලා උන්න. සිරිතෙ හැටියට ඔක්කොම ජාති හතයි. කිරිඅම්මල හත්දෙනාට එක් වර්ගෙකින් හත බැගින්. මමයි, අම්මයි තාත්තයි, නංගියි ඉතිරි පස් හය දෙනයි කැවිලි පෙවිළි පූජා කළා. දැන් ඉඳුල් කරන වෙලාව. සුපුරුදු පරිදි අත්තම්මල හුඟ දෙනෙක් කෙසෙල් ගෙඩියකින් ඒ චාරිත්‍රය ඉටු කළත් සමහරු ඉන් සෑහිමකට පත් වුණේ නෑ. වෙලාව හරියටම පාන්දර පහ හමාරයි. දැල්වුණ පහන් දෝතින් රැගත් අත්තම්මල නිවැසියන්ට පිහිට පතන්න පටන් ගත්ත. හිසේ වත් කරන පහන් තෙලින් අප හැමගේම සිත් තුළ තිබුණ දුක් සංකා තෙත් වෙල වියැකිල ගිය බවක් දැනුනා. ඇත්තටම මේක මානසික ප්‍රතිකාරයක් ඈත අතීතෙ අපේ මුතුන් මිත්තො නිර්මාණය කරපු. මට දැනුනෙ එහෙම.
කිරි පොල් කට්ට අතට ගත්තු වයස්ගතම අත්තම්ම ගෙයි ඉදිරියට හරිම සංයමයෙන් ගමන් කළා කවුරුත් බලා උන්න. මුමුනන යමක් නොඇසුනත් ඒ බුදුගුණ බව මට වැටහුණා. ගෙයි වහලයට ඉහළින් ගිය කිරි පොල්කට්ට වහලයේත් වැදී බිම වැටෙන හඬට අපි සැවොම කන් දුන්න. 
මුලු ගෙදරම අලුත් එළියක් වැටුණු ගානයි. ගෙදරටත් වඩා අපේ හිත්වලට. අහල පහළ ගෙවල්වලටත් ඉර එළියත් එක්කම ගිහින් අපි කැවිලි බෙදුව. 

Wednesday, November 30, 2022

රතැඟිලි

 තේ දල්ලක රසය බදාවිත් දහදියෙන්,

තෙත්වු ගිනි අවුකඩින්

සියුම් සුසුමක් ඇසෙයි තේ කූඩෙට උඩින්

තාලයට සුවපහසු රත්රනින් කළ ජෝගු

සිඹ සිඹා උනුසුම්ව....

ටයිල් හිත් ඔපදමයි තවතවත්...

ඇයි නොහැකි සනසන්න.?

එකම එක වාරයක්

රස නෙළන රතැඟිලි..

Monday, November 21, 2022

කල් ඉකුත් වු සෙනෙහස

 සංසුන්ව හිඳ අවට බැලු තැන

රුපියලේ හඬ ඇසෙයි හැමතැන

සෙනෙහ පුරනට කල් ඉමක් නැත

සෙනෙහෙ බඳුනම කල් පිරී ඇත....

 කල් ඉකුත් වූ සෙනෙහෙ බඳුනෙන් ආදරය සොරා ගත්තවුන් පමණක් මළ වුන් අතර නොමැරී ජීවත් වෙනු පෙනේ..



Wednesday, September 7, 2022

වානේ මල්

       


  

 පෙරවදන

    ලියන්නට ආසා මුත් මා ඊට දැඩි සේ බිය වීමි. ලිවීමත් කලාවකි. එයට පුහුණුව සේම අසාව ද අවැසි බව මා හොඳින්ම දන්නා කරුණකි. ලීවීම පිළිබඳ මෙලෝ කල්යිතාවක් නොදත්තෝ පවා කතුවරු වූ බැව් මා අසා තිබේ. නමුත් මගේ හිතේ හැටියට නම් ලිවීමේ අරමුණ කතුවරයෙකු වීම නොවෙයි. කුඩා කල පටන්ම කුඩා ළදරුවෝ ලියයි. එහෙත් ඒ රසවත් දෑ නොවෙයි. කියවයි. එහෙත් ඒ හරවත් දෑ නොවෙයි. සෙක්කුව සෙයින් එක තැන කරකැවෙයි. වටක් පිටාවක් නොදැන ළිං මැඬි සෙයින් කල් ගෙවා දමා මියැදෙයි. කෙසේ වෙතත් මේ කරුණුවලට දරුවන්ටම දොස් දීමෙන් පලක් නැත. කුඩා කල පටන් උන්ගේ ඔළු මෙහෙයවන හිටියා වැඩි ගතානුගතික පරම්පරාව එය උගත යුතුය. උපාධියක් ගෙන රජයේ රක්ෂාවකට පැන ගැනීම හොඳම දේ යැයි මෝඩ සිතිවිල්ලෙන් පසු වෙයි. එක් අතකට එහි වරදක්ද මා දකින්නේ නැත. ඒ මන්ද යත් දෙමාපියනට උවමනා තම දරුවන් තමන්ට වඩා උස් අත්තක සිටිනු දැක සතුටු වීමයි. නමුත් හැම අයටම උරුම ආසා කරන ශිල්පයන් පවතී. ඊට තල්ලු නොවු තැන අරමුණක් නැති පණ ඇති මළවුන් බිහි වෙයි. ඉගන ගත යුත්තේ නොයුත්තේ මොනවා ද? කල යුත්තේ නොයුත්තේ මොනවාද නොදත් හිස් ජීවිත බිහි වෙයි. හිතට එකඟවම මම ඉන්නෙ මං ආසම තැන ද කියල හිතට තට්ටුවක් දාලා අහල බලන්න. හුඟක් දුරට ඒක එහෙම නෙවෙයි. හැමදේම කරුමෙට බාර දීල පැත්තකට වෙන තරමටම අපිට අපිව නැති වෙනව. ඒකයි සහසුද්දෙන්ම  ඇත්ත. 

සාහිත්‍ය මිහිදන් කර හදවත් සුසානයේ මළවුන් හඬා වැලපෙති. තරමක් විකාරයක් වගේ පෙනුනත් සමහරුන්ට, කලාව රසවින්දනය නැති මනුෂ්‍යයා මළවුන්ට සමයි. 


ඇත්තටම ලියන්න මොනා ද ඕන.........


කොලයක්, පෑනක් .........


ඇත්තටම ලියන්න ඕනෑ ලස්සන හදවතක්. ලස්සන හදවතකට තමයි අපූරු අදහස් ගලාගෙන එන්නෙ. එහෙම හිතල බැලුවොත් ලස්සන හදවත් තියන කියෙන් කී දෙනා ද ඉන්නෙ...... ඇත්තටම නෑ, එහෙව් හරි ලස්සන හදවත් තියන මිනිස්සු ඔයාගෙයි මගෙයි අස්සෙත් ඕනෑ තරම් සැඟවිලා ඇති. හඳුනා නොගත්තු ඕනෑ තරම් අය පොළවට පස් වෙලා ඇති. අපි අපිවම තේරුම් නොගෙන අනික් අයගෙ අදහස් අස්සෙ අපිව හොයන්න ගියාම අපිවම හෙම්බත් වෙනව. අපිට අපිව නැතුව යනවා. මම මාව නැති කර ගන්න අදහස අත් ඇරලයි තියෙන්නෙ. 


හතවතට ගලා ගෙන එන  රසවත් දෑත් හරියට ගංඟාවක පා වෙලා යන මලක් ගානයි. දුටු සැනින් අහුලා නොගත්තොත් වෙන්නෙ ඒ මල අහිමි වෙන එක. එකම මල නැවත නැවත ගඟේ පාවෙලා එන්නෙ නෑ කොහෙත්ම, උඩුගම් බලා යනව මිසක. නැතිනම් ක්ෂණයකින් මියැදිලා යනව මිසක. මතකය අකුරු කරන තරමට හැමෝටම ඇහැකි ඒකෙ රසය විඳින්න.... ඇයි අපි තනිවම ජීවත වෙන්නෙ. ඒක මහ විහිළුවක්.


ලියන එකට ඇත්තටම හරිම අරමුණක් ඇත්තෙ නෑ. ලියන ඈයො දන්නෙත් නෑ කොහන් කෙළවර වෙයි ද කියල. එහෙම දන්නවනම් ඒක රචනාවක්.නැතතම අසා ලිවීමක්. ඇත්තටම ඒක කොයි තරම් නම් නිදහස් අත්දැකීමක් ද..... ලොකේ වටේම වුණත් ක්ෂණයකින් පියාඹලා සැහැල්ලුවෙන් යතහැකි. ඒ අත් තටු කී දෙනෙක් නම් තමාගෙම අඥාන මුවහතෙන් කපා ගන්නවද. ඒ ලෙයින් ම හති දාගෙන කන්තෝරු පුටුවල ෆයිල් පුරෝනවද ..... මේ හැමදේම මුසා වෙන්නත් හැකි. ඒත් ඒ තමන්ව හරිහැටි අඳුනගන්න බැරි වුණ කෙනෙක්ට. හැමෝගෙම ඇතුලෙ හැංගිච්ච කලාකාරයෙක් ඉන්නව. එක රසවත් නිර්මාණෙකට පුළුවන් ඒ කලාකාරයව එළියට ගන්න. හැමෝම කලාකාරයො වෙන්න නෙවෙයි, රෑට ලියවෙන පුංචි පද පේළියක, වැස්සක් අසසෙන් කියවෙන රසවත් නවකතාවක ඡේදෙක අයිතිකාරයෙක් වෙන්නයි මගෙ ආරාධනාව...... 


සුධී...


සිරගත හීන ලිහාපිය....

 



ලේ අහුරු මුතුවන්ව වැටියන් උරා බිව් පස සාර වන්නට ...

බිඳෙන දා බිදු වැහිව තෙමියන් කතර කළ බිම ක්ෂේම වන්නට...

හීන මහමඟ තබා මොර දෙන සිංහ ගර්ජන පතල වන්නට ...

නැඟී හිටියව් නැඟී හිටියව් කලක් නෑ අාපහු හැරෙන්නට...


ඡන්ද පොළ වෙත හීන අමුනා ගැසූ කතිරය මැකී යන්නට...

අපට පිදු හෙන සාප වී දෙස් දෙවොල් වී මරු හට පෙනෙන්නට...

කිරිත් බී නැති කළල ණය වී නොදැන හේතුවවත් අහන්නට....

දෙයියෝ කෝ අද හිටි දිසා නැත දිවේ කෙළ නැත කන්නලව්වට....


හතර වරිගය එකට එක් වී යස ඉසුරු සම්පත් විඳින් අැත...

ඉඟුරු දීලා මිරිස් ගත් බැව් කලක් නොගෙවිම අපිත් දන් නැත..

කඳූළු ගෑසින් අනේ ඵල නැත නෙත උනන්නට කඳුළු දැන් නැත...

හීන හිරබත් කෑව දැන් අැති  අයුක්තිව අැස් දෙක ලිහාපිය...

සුධී...

Friday, February 11, 2022

ගුරු තරුව....










පුංචි කලකට අපට පෑයූ මුත් සදාකාලික සාහිත්‍යාලොකයක් අපට දායාද කළ හෂාන් බඹරබොටුව ගුරු පියාණන්ට...,


මකරානන්දයටත් එහා ගිය

හිතේ යටි සතුටකින්

සේපාල ගැන කීව මතකයි ද තිරයකින්

මුවා මැරු සලමනුත් ඊට පෑ හේතුවෙන්

ගෝන රැල පාසලට ආවෙ ගියෙ හීනෙකින්

කළිඟු කුමරුන් ගෙව්ව වන දිවිය රස වුණී

ගුරු වදන් ඊට තව තවත් රස ගැල්වුණී......,

සීගිරියේ ළඳුන්ටත් එහි ඉන්න හේතු කිවු

ගී ලියූ මිනිස් ලත් රසම තැන් පිඬු කෙරූ

රස බරම තැන් සොයා රූප පිටපත් තුළින්

සැරිසැරූ අපූරුම ඔන්ලයින් පාඩමින්

හිතට නොදෙනා බරින් සැහැල්ලුම ගැඹුරකින්

සාහිත්‍ය රස කළා වෙනද නැති අරුමෙකින්

රස බරම පස පේළී රස බරම තේරුමින්

ඔර්ලොසු කටු ගියේ වෙනද නැති වේගෙකින්....,

ගුරු තරුව සෑමදා පායාවි අරුමැසින්

සබර අඹරෙම නොවී  ලොව දිලෙන් හැම අතින්.....



සුදී....



 

Saturday, January 29, 2022

ගොහුරු මඩේ නෙළුම් මලක් පිපෙනා බව සිහි කරන්න

 



කාසි මෙන් හඬ නඟන මිනිසුන් 

අසල දී නිහඬ වන්න

හඬ තිබුණට වටිනාකම අඩු බව

හොඳ හැටි හිතන්න

පිරුණු කළේ කවදාවත්

දිය නොසැලෙන බවත් දන්න

ගොහුරු මඩේ නෙළුම් මලක් 

පිපෙනා බව සිහි කරන්න


සුදී...


වෙන දා නැති සතුටක්.....

 

මඟුල් බෙර මැද හෙමින්

මගේ අත දැවටෙමින්

පෝරු මස්තක උඩින්

වෙනදා නැති සතුටකින්....


තැල්ල බර වැඩි ද දුව

දරා ගත හැකි වේද

හැරෙනු නම් බෑ නැවත

ඉදිරිය ම යනු මිසක...


මට තනිය හුරු වේවි

ඔබට තනි නැති වේවි

සිනහ මුව රැදේ නම්

මට එය ම ඇති වේවි.....


සුදී....





කියන්න කලින් හිතන්න...


 

ගින්නකට හැකි වුවත් මිනිහෙකුව            දවන්න

වචනෙකට වුවත් හැකි ගිනි නැතිව           දවන්න

කියන විට වචනයක් දහස් වර                  හිතන්න

රිඳුනොතින් හොඳ හිතක් ආයෙ බෑ           හදන්න


සුදී..