කාසි මෙන් හඬ නඟන මිනිසුන්
අසල දී නිහඬ වන්න
හඬ තිබුණට වටිනාකම අඩු බව
හොඳ හැටි හිතන්න
පිරුණු කළේ කවදාවත්
දිය නොසැලෙන බවත් දන්න
ගොහුරු මඩේ නෙළුම් මලක්
පිපෙනා බව සිහි කරන්න
සුදී...
කාසි මෙන් හඬ නඟන මිනිසුන්
අසල දී නිහඬ වන්න
හඬ තිබුණට වටිනාකම අඩු බව
හොඳ හැටි හිතන්න
පිරුණු කළේ කවදාවත්
දිය නොසැලෙන බවත් දන්න
ගොහුරු මඩේ නෙළුම් මලක්
පිපෙනා බව සිහි කරන්න
සුදී...
මඟුල් බෙර මැද හෙමින්
මගේ අත දැවටෙමින්
පෝරු මස්තක උඩින්
වෙනදා නැති සතුටකින්....
තැල්ල බර වැඩි ද දුව
දරා ගත හැකි වේද
හැරෙනු නම් බෑ නැවත
ඉදිරිය ම යනු මිසක...
මට තනිය හුරු වේවි
ඔබට තනි නැති වේවි
සිනහ මුව රැදේ නම්
මට එය ම ඇති වේවි.....
සුදී....
ගින්නකට හැකි වුවත් මිනිහෙකුව දවන්න
වචනෙකට වුවත් හැකි ගිනි නැතිව දවන්න
කියන විට වචනයක් දහස් වර හිතන්න
රිඳුනොතින් හොඳ හිතක් ආයෙ බෑ හදන්න
සුදී..
ආල කෙළෙමි මව් පිය හැරදා ලොබින
නෑ පැතු සම්පතක් හැම හැරදා සිතින
දුක්කම් කටුලු ආවත් පසුපස නිතින
කල් ගත කළෙමු හිත් දුක් ගිනි නොම දැනින
සප විෂ රිඳුම් දුනිදෝ පා යුගල මත
පොඩි පුතු ගෙන ගියා උවදුරු උකුසු ඇස
ගං දිය ගිල ගනී මා පුත නොසිතු ලෙස
මට පමණක් අහිමි වුණෙ ඇයි මරණ විස
හිස කරකැවෙයි දෙලොවක් නොදැනෙයි මෙලෙසේ
සිහි වෙයි ආදර ම මව් පිය සෙනේ රසේ
දැන් ඵල නැතිය යමි මා හිස හැරුණු දෙසේ
මා පිය දෙපළ ගෙයි ගිනි මැද ගොසින් ඇතේ
දරු දුක දැඩිය අපමණකය කියා නැත
හිමි සඳ නැති මගේ පාළුව හිත දවත
මා පිය දුන්න ගිනි ආපිට පැමිණ ඇත
හිස හැරි අතට නිරුවත වුව මතක නැත
හැම ගල් ගසා එලවා පලවා දමති
බුදු ගෙයි පිහිට දැන් මට පින අවැසි ඇති
සළුවෙන් දහම් මා ගත සිත නිවාලති
අහිමිව ගිය දේයින් නිවනේ දොර ඇරෙති
හැම දේ නැතිව යයි නැති විට දුකක් දැනේ
හිමි දේ අහිමි වන බව හිත කරුණු පෙනේ
දහමින් අන් මඟක් නැත හිත නිවන සෙනේ
සදහම් සරණ යමි බුද්ධං සරණ ගතේ
සුදී...
ඇඳ පිරුවට සිනිඳු සිහිල්
ගෙන මල් පෙති සුවඳ නෙළුම්
බලන් සොඳුරු අඟන රැඟුම්
පවුරක ඇඳි රූ....
ඇතැමුන් බල අහක දෙස
නෙළුමන් ගෙන සුවඳ දස
සිතුවම් දඬුවම් විඳිමින්
පවුරක කොටු වී....
අනඟ මේඝ විජ්ජු ලතා
සිඳඟන වෙස් ලදුව ඉතා
කම් රග සිත් මනබඳිමින්
කුමක් කරම් දෝ...
කසුප් රජුන් දවස එදා
දිවි තොර ගති ගලෙන් හෙලා
සිතුවම් දඬුවම් විඳිමින්
තාම හිඳී දෝ...
කවි සිත්තෝ කවි ලීවෝ
රන්වනු දැක තුටු වූවෝ
බලන් අසිරි අවට රුසිරු
පවුරු මුදුන් වී...
අදත් හිඳී බලා වටෙස්
එදා සේ ම එක බැල්මෙන්
කසුප් රජු ද වෙන කවුරු ද
එනවයි කීවේ...
සුදී...
සඳක් වෙන්නට අවැසි නෑ මට
සැවොම සුන්දර කතා කියනා
පුංචි තරුවක් උනා නම් ඇති
ඈත අයිනක තනිව හිඳිනාසත් පාට දේදුන්නෙ ඵල කිම
වැහි පොදේ නෙක රටා මවනා
පුංචි විහඟෙක් උනානම් ඇති
සැහැල්ලුව හරි අගෙට විඳිනා
මහා බර කර දරාගෙන යන
ගැලක ගවයෙක් වෙන්න වේ නම්
රටේ නැති දේ හිතේ පුරවන්
දොඩම් ගොඩ තනිවම බදා නම්
කාසි වතු පිටි ජීවිතේ කොට
බැංකු පොත් පුරවා ගනී නම්
කොයි ද සැනසුම හිතේ කෙතෙන ද
එහෙම ජීවිත මට එපා දැන්
මොනම දේවත් තිබී ඵල නැත
හිතේ සතුටක් නොම දැනේ නම්...
සුදී...
ලොකු ඇඟක් තිබුණාට
පලක් නැති බව වැටහේ වි
මිල මුදල් ඇතිවාට
හිස් බවක් දැනේවි
ලොකු ලොකු නවීන පන්නයේ
මොටර් රියේ ගියාට
අඩුවකුත් දැනේවි
ඇස් දෙකම තිබුණාට
මොනවත් ම නොපෙනේවි
ඔළු ගෙඩිය හිස් නම්
ඒ දේත් නොදැනේවි..
සුදී...
යාවත්කාලීන වන සමාජයත්, සාහිත්‍යත් සමඟ නව න්‍යාය ප්‍රවේශයන් ද කරලියට පැමිණෙනු දක්නට ලැබෙයි. ඒ අතර සාහිත්‍ය කෘති “පාරිසරික විචාර දෘෂ්ටි කෝණයකින් විමසීම” දක්නට ලැබෙයි. මිනිස් හැඟීම් පරිසරය ආශ්‍රිතව ගොඩනඟමින් විදහා දක්වන ආකාරය මෙහි දී විමසුමට ලක් කරයි. මානව කේන්ද්‍රීය චින්තනය හරහා දුරස් කරන ලද්දා වූ මිනිසා සහ පරිසරය අතර පවත්නා අවියෝජනීය සම්බන්ධය සාහිත්‍ය හරහා ඔප්නැන්වීමට දරන උත්සාහයක් ලෙස පරිසර සාහිත්‍ය විචාරය හඳුනාගත හැකි ය. පරිසරය හරහා ඉස්මතු කරන මිනිස් කලා සාහිත්‍ය පුනර්ජීවනය මෙහි දී ඉදිරියට පැමිණෙයි. සාහිත්‍ය තුළ පාරිසරික දෘෂ්ටි කෝණයකින් විචාරය කිරීම මෑත කාලීනව වේගයෙන් වර්ධනය වූ මාර්තෘකාවකි. විශේෂයෙනි වර්තමානය වන විට “පරිසරවේදී නවකතා” යනුවෙන් වෙනම ආරයක සාහිත්‍ය රසෝඝයක් ලෝකය පුරා වර්ධනය වෙමින් පවතිනු දක්නට ලැබෙයි. පරිසරය කෙරෙහි මිනිස් චෛතිසකය රැඳවීමට දරන උත්සාහයක් වන මෙහි දී සාහිත්‍යට මෙන් ම පරිසරයට ද නවමු දැක්මක් සහ රසයක් එක් කරයි. මෙම න්‍යාය ආරම්භ වූයේ කවදාදැයි නිශ්චිතව කීමට නොහැකි මුත් මෙහි මූලික අවධිය ලෙස විලියම් රූකට් ( William Rucker - 1855 ) ගේ “සාහිත්‍ය සහ පරිසර විද්‍යාව පරිසරවාදයේ අත්හදා බැලීමකි”(Literature and Ecology - An Experiment In Ecocriticism) නම් ලිපිය සැලකිල්ලට ගත හැකි ය. මෙම ලිපිය තුළ මූලික අවධානය යොමු කොට තිබෙන්නේ සාහිත්‍ය අධ්‍යයනය සඳහා පරිසරවේදය සහ පාරිසරික සංකල්පය යෙදීම සම්බන්ධවයි. ඔහු දක්වන්නේ “පාරිසරික විචාරය යනු පරිසරය විනාශ වන යුගයක ස්වාභාවික ලෝකය සමඟ අපගේ සම්බන්ධතාව පිළිබඳ මානවවාදී අවබෝධයක් සඳහා ඇති අවශ්‍යතාවට ප්‍රතිචාරයකි. දෙවනුව, පාරිසරික අර්බුද ඇති වන්නේ මානව වර්ගයා ස්වාභාවික ලෝකයෙන් විසන්ධි වීම නිසා වන අතර එය තාක්ෂණය දියුණු වීම නිසා පමණක් නොව විශේෂීකරණය නිසාවෙන් ද සිදුවේ. පාරිසරික විචාරය යනු අන්තර් විනයයි.” (https://lankaweb.lk/archives/37490). ‘Eco’ යන උපසර්ග පදයෙන් ඉංග්‍රීසි බසට පරිසර විද්‍යාව (Ecology) බිඳී ආ අතර න්‍යායක් ලෙස එය අධ්‍යයනය කරන විට ගැඹුරින් අධ්‍යයනය කරනු නොපෙනේ. විකිපීඩියා සාහිත්‍ය පවා දක්වන්නේ පහත පරිදි අදහසකි. “Ecocriticism is the study of literature and environment from an interdisciplinary point of view where all science come together to analyze the environment and brainstorm possible solution for the correction of the contemporary environmental situation ”(Wikipedia). මීට අමතරව “සාහිත්‍ය න්‍යාය සහ පාරිසරික විචාරය” (Literary Theory and Environmental Criticism) නම් නිබන්ධනය හරහා ද නස්රුල්ලා මැම්බ්‍රොල්(Nasrullah Mambrol) පරිසර විද්‍යා විචාරයට අවධානය යොමු කොට තිබේ. පාරිසරික විචාරය සාහිත්‍යය තුළ මිනිසා සහ ස්වභාවික ලෝකය අතර සම්බන්ධය විමර්ශනය කරයි. . එය පාරිසරික ගැටලු, පරිසරය සම්බන්ධ සංස්කෘතික ගැටලු සහ ස්වභාවධර්මය පිළිබඳ ආකල්ප ඉදිරිපත් කරන ආකාරය සහ විශ්ලේෂණය කරන ආකාරය සමඟ කටයුතු කරන අතර . පාරිසරික විචාරයෙහි එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ ස්වභාවධර්මයට සහ පාරිසරික අංශයන්ට සාපේක්ෂව සමාජයේ පුද්ගලයන් හැසිරෙන ආකාරය සහ ප්‍රතිචාර දක්වන ආකාරය අධ්‍යයනය කිරීමයි. පාරිසරික විනාශය, පිළිබඳ සහ දියුණුවන තාක්‍ෂණය හේතුවෙන් මෑත වසරවලදී මෙම විවේචන ආකෘතිය විශාල අවධානයක් දිනා ඇත. එබැවින් එය සාහිත්‍ය සහ න්‍යායාත්මක අධ්‍යයන ක්ෂේත්‍රයට නව මානයන් ගෙන එන සාහිත්‍ය ග්‍රන්ථ විශ්ලේෂණය කිරීමේ සහ අර්ථකථනය කිරීමේ නැවුම් ක්‍රමයක් වේ. . Ecocriticism යනු “හරිත සංස්කෘතික අධ්‍යයනය” ,“පරිසර විද්‍යාව” සහ “පරිසර සාහිත්‍ය විචාරය” ඇතුළු වෙනත් නාම ගණනාවකින් හඳුන්වනු ලබන චේතාන්විතවම පුළුල් ප්‍රවේශයකි.
“කාන්තාවට පමණක් ප්‍රසූත කිරීමේ
හැකියාව ද කාන්තාරයේ ඇපල් ගසක් වර්ධනය නොවීම තළ පවා.........ඒ ප්‍රස්තුතයට
විරුද්ධව මානවයා තමන්ගේ අවශ්‍යතාවයට අනුව පරිසරය වෙනස් කර ගනී. පරිසරවාදීන් දැඩි
ලෙස අවධාරණය කරන්නේ මෙයයි” (දිවයින 2013. 04.13 -වටමඬල 3 පිටුව). “2007 වසරේදී
ඔහු විසින් ප්‍රකාශයට පත්කරන්නට යෙදෙන ඔහුගේ කුළුඳුල් නවකතාව වන බත්තලංගුණ්ඩුව
ඔහුගේ ගද්‍ය රචනය පිළිබඳව හැකියාව පාඨක ලෝකයට ඉදිරිපත් කළ සුවිශේෂි සංධිස්ථානයකි. බත්තලංගුණ්ඩුව
ගැන විවිධ විචාර ප්‍රවේශයන් ඉදිරිපත් ව තිබුණ ද පාරිසරික දෘෂ්ඨි කෝණයෙන් එය පිළිබඳව යම් අධ්‍යයනයක් සොයාගන්නට නොහැකි විය. එනිසාම මෙම සුවිශේෂි
කෘතිය පාරිසරික දෘෂ්ටි කෝණයකින් අධ්‍යනය කළ යුතු බව තීරණය කළෙමි.......“ කලපුව හිරුරැස් ගිලිහුණද ආකාසේ අඳුර ගිලිහී නොයයි. පෙරඹර බොහෝ ඈත ය. හිරු නැගෙන තැන සිට
කෙතරම් ඈතට කිරණ විහිදුවන්නේ වුව එළිය පතිත වන්නේ මෑත බිමට ය. අහස මත්තේ අංශුවෙන්
අංශුව බෝවී බෝවී එළිය වැතිරෙන්නේ සුනංගු පියවරෙන් පියවර මනිමිනි.” – පිටුව 01 (වෙඩිවර්ධන මංජුල, බත්තලංගුණ්ඩුව( (මණ්ඩාවල 2022 - ඉරිදා ලංකා පුවත්පත).
ලාංකේය පුවත්පත්කරණය පවා පරිසර සාහිත්‍ය විචාර න්‍යායට අවධානය යොමු කරමින් පවත්නා
බැව් මේ හරහා පසක් වෙයි. විප්ලවය සහ මානව ශිෂ්ටාචාරය, මානවයාගෙන් තොර සංස්කෘතික
පැවැත්මක අවශ්‍යතාවය, පාරිසරික සංකල්ප සහ මානව අන්තර් සබඳතා, කාලය සහ අවකාශය ප්‍රශ්න
කිරීම, සභ්‍යත්වය සහ සංස්කෘතික දර්ශනය ආදී වූ කාරණා මුලි කොට ගනිමින් කරන මේ න්‍යායික
ප්‍රවේශය වත්මන් කාලීන අවශ්‍යතා මත ගොඩනැඟුණක් බව පෙනේ.
මටත් නොදැනි ම හිතට නොහැඟි ම සිහින් මඳහස් සිනා නැඟුනා
පුංචි බණ්ඩිය තවත් ලොකු වී කිරි සිනා රැලි නෙතඟ මැවුණා
අප්පච්චි නුඹෙ ළඟ සිටන් හැම වෙලාවේ මගෙ හිතට එබුණා
රස බොජුන් පැන් ළඟට ගෙන දී ආදරෙන් හිස සිඹී හැමදා
අද ද හෙට දැයි දිනත් ගනිමින් රෑ දවල් හිත හීන මැවුවා
රෝස නිල් පැහැ පුංචි රෙදි පොඩි ගේ පුරා හැම තැන ම තිබුණා
පුංචි පවුලක සෙනේ පුරමින් එකට ඉන් හැටි හීන ඇඳුණා
හරියට ම රෑ දොළහ මාරයි මගේ කුස තදියමින් දැවුණා
දරා ගනු බැරි තැන ම මොර දී අප්පච්චි පිට තැලුම් දුන්නා
ගමේ වෙද ගෙයි ඇදක් මත හිඳ නුඹව වැඳුවයි මටත් දැනුණා
අප්පච්චි නොම තනි කරන් පුත මට හිඳින්නට වාරු නැතුවා
දමා යාමට නොහැකි මුත් මට යන්ට කාලය ඇවිත් තිබුණා
කිරි සිනා රැලි මැදින් මා සිත ගිනියමින් හොර හොරා දැවුණා
මගේ හිමියනි තුටින් ඉනු මැන මගේ අවසන් පැතුම පැතුවා
අප්පච්චි නොම තනි කරන් පුත මට හිඳින්නට පිනක් නැතුවා
සුදී...
සඳ වුවත් සුන්දර ම පෑව්වම පෝ දාට
මුදු එළිය නිවයි සිත නොයයි ඒ දෙසින් පිට
තරු පොකුරු අපමණක් දිලුනාට ඒ අවට
මගේ හිත නොයයි පිට හඳම හිත පුරාවට
අතගාල හිස සිම්ඹ ඒ සුවඳ උණුහුමේ
ළඟ ළඟම හැම විටම දැනෙනවා හිත ඉමේ
ඔබට හැක දුර සිටන් විඳින්නට මගෙ සෙනේ
තෙමන්නට එපා නෙත් මගෙ හිතට එය දැනේ
ළඟ නැතත් හැමදාට දුර සිටන් බැලුවාට
හිත ඔබේ හිත ළඟයි නවතලා ආවෙ මම
ඔබට තනි නෑ නේද හිත හොරෙන් හැඬුවාට
ඉවසන්න ඉකිමනින් නිවාඩුව ඒවි හෙට
සුදී...
ගලන දිය වුව ඉඩෝරය මත
තබා යයි තිත කෙටි කලක දී....
වැටෙන වැසි වුව හඬා නවතී
හිරු මුදුන් වී පැමිණි විට දී....
දිලෙන මුතු පිණි පලා යයි
අලුයමින් හිරු නැඟ සිනාසෙද්දී....
මේරු ගස වුව කුණාටුව දී නිසල වේ
බිම පතිත වී....
නොහැක යාමට අතරමඟ
කිසි කොයිම බාධා ආව දා දී....
ඉදිරිය ම මිස හැරී බැලුමෙන්
පලක් වේවි ද ජීවිතේ දී....
සුදී...
සෑම ශිෂ්‍යයෙක් ම අකුරු සාස්තරයට දක්ෂයෝ නොවෙති. එය තම තමා උපතින් ගෙන ආ
මානසික ශක්තිය සහ කුසලතාව මත උරුම වන්නකි. බලෙන් පැවරිය හෝ දායාද කළ හෝ නොහැක්කකි.
සැවොම එකම දෙයකට හපනුන් වන්නේ ද නැත. නමුත් ඒ යථා ස්වභාවය තේරුම් ගන්නේ ඉතා සුළු
පිරිසක් පමණි. “ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියා අපගේ පැරැණ්නන් කීවේ කට
කහනවාට නොවන බව කිව යුතුම ය. සෑම දෙයකට ම දක්ෂතා ඇත්තෝ මිහිපිට නොමැති බව ද එයින්
නොකිය වේ. ප්‍රදීපිකා පතිරාජිණියන්ගේ ගුරු
වලප පද්‍ය ද එදා පාඩම් විභාගයෙන් අසමත් වූ
ශිෂ‍්‍යයෙකු අද ජීවන විභාගයෙන් සහ ගුණ දහමින් සමත්ව සිටිනු දැක ප්‍රගති වාර්තා
පොතට ඔහුගේ ඒ සමත් වීම ගෙන ඒමට නොහැකි වූයේ මක් නිසා දැයි පසුතැවිලි වීම පද්‍යයට
නඟා තිබේ.යම් මාර්තෘකාවක් ඔස්සේ කෙතරම් නිර්මාණ ගොඩනැඟුන ද ඒ ඒ කතුවරයාගේ
සුවිශේෂීත්වය මත නිර්මාණයේ පාඨක රුචි අරුචිකම් තීරණය වෙයි. නිර්මාණකරුවකුගේ
දක්ෂතාවය ඉදිරියට පැමිණෙන්නේ ඒ තුළිනි.
“හුළං නැති ස්කූටිය තල්ලු කරගෙන එනකොට
ළඟට දිව විත් ඇයි ටීච මක් වීද විමසන
විනාඩියකුදු නොයවා ගෙන සකලවිධ ආයුධ
මා නොකී අඩුපාඩු සොය සොයා සාදන”
පද්‍යයේ ආරම්භයේ පටන් ම ශිෂ්‍යයා තුළ අදටත්
එක ලෙස පවත්නා ගුරු ගෞරවය පාඨක සිතට ඒත්තු ගන්වයි. ගුරුවරයාට අකරතැබ්බයක් වූ විට
දී එදා ඉහළ සාමාර්ථ ලබා පිටව ගිය සිසුනගෙන් නැති පිටිවහලක්, එදා අසමත් වුණු
සිසුවාගෙන් ලැබීම පිළිබඳ ගුරුවරයාට ඇති වන්නේ පුදුමයක් සහ හදවත ඇතුළින් නැගෙන්නා
වූ හිත කීරි ලන සුසුමකි. “ළඟට දිව විත් ඇයි ටීච මක් වීද විමසන” යන පදයෙන්
ගුරුවරයාට පවත්නා යටහත් පහත් බව සහ ආදරණීය බව හඟවයි. අද ගුරුවරයාගේ බයිසිකලයේ
අඩුපාඩු නොකියා ම සෑදීම ගැන
ගුරුවරයාගේ සිත තමාට ම වද දෙයි. තමාගෙන් ඉටු විය යුතු වගකීම හරි හැටි ඉටු වූවාදැයි
සිත තුළ දෙගිඩියාවක් ඉපදෙයි.
සැවොම තැන නොතැනක් නොතකා,
කිසිඳු කිළිටක් නොමැතිව මුදල් පසුපස හඹා
යන සමාජයක, පොතපතින් ගත නොහැකි දැනුම වුව ද ගුණ දහම් ද ජීවිතයට එක්කාසු කර
ගැනීමට තිබෙන වග කතුවරිය පාඨකයාට ඒත්තු ගැන්වීමට මහත් පරිශ්‍රමයක් දරනු පෙනෙයි.
“පසුම්බිය අරිනා විට
සල්ලි මොකට ද ටීච
ඕන වේලෙක එන්ඩ
කියමින් මජන් අත පිහිදන
වැඩියෙන් ම ගුටිකාපු
අසමත්ම ශිෂ්‍යයා නුඹ”
දෙඅත මජන්වලින් කිළිටි
වුව ද සිතඟෙහි පවත්නා සුපහන් බව කියා පාන කතුවරිය “කියමින් මජන් අත පිහිදන”
යන පද්‍ය පාඨයෙන් ඔහුගේ රැකියාවේ පවත්නා දුක්ෂරතා සහ වෙහෙස මහන්සිය දක්වයි.
“ඕන වේලෙක එන්ඩ” යන පාඨයෙන් ගුරුවරයාට කරන සුහද ඇරයුමක් සහ ආයාචනයක් දක්වන අතර
වැඩියෙන් ම ගුටි කෑ, බැනුම් ඇසූ, අපහාස විඳි අසමත් යැයි සම්මත වූ සිසුවා වූ ඔහු
ජීවන ගමනේ ඉහළ සාමාර්ථ ගනු දැකීම ගුරු සිත සසල කරයි.
ඔහුගේ කාර්යය උවමනාටත්
වඩා හොඳින් ඉටු කළ ඔහු නැවත යතුර දී ගුරුවරයාට වඳින අවස්ථාව ගුරුවරයාගේ සිත දැඩි
පසුතැවිල්ලකට සහ වේදනාවකට පත් කරයි. එය කතුවරිය අපූරු පද්‍ය පාඨයකින් හඟවයි.
“යතුර දී මා අතට දණ නවා
වඳිනා විට
යකුළු පහරක් වැදී දෙපළු විය
පුතේ මා හදවත”
ගුරුවරයාට ඇති වන සිත්
වේදනාව යවුල් පහරකින් දෙපළු වන කළු ගලකට සමාන කරයි. එහි පවත්නා වේදනාකාරී බව මනාව
උද්දීපනය කරයි. ගුරු ගෞරවය අදටත් රකිනා ඔහුගේ අසමත් යැයි එදා සම්මත කළ සිත තමාම අද
අසමත් කළ පසුතැවිල්ලක් ඇති වූ බවක් කතුවරිය ඉදිරිපත් කිරීමට උත්සහ දරයි. ඔහුගේ
නෙත් දෙස නොබලාම ආපසු යෑමට ගුරුවරයා තීරණය කරන්නේ එබැවිනි. ඔහුගේ නෙත් දෙස බැලීමට
තරම් ශක්තියක් ගුරුවරයාට නොමැති බවක් ද දක්වයි.
“නොබලා ඔබේ ඇස් දෙස
බිම බලාගෙන හැරී යමි”
“බිම බලාගෙන හැරී යමි” යන පාඨයෙන් ගුරුවරයා
තුළ හටගත් කලකිරීම සහ වේදනාව කියා පායි. නොබලා, බිම බලාගෙන යන්නෙන් දුක්බර බවක්
මුසු කරයි.
පද්‍යයේ රසවත් ම සහ සිතට
කා වදින පාඨය වන ,
“ඔබේ ගුණ වාර්තා පොතට ගත නොහැකි වූ
අසමත් ම ගුරුවරිය ලෙස” දැක්විය හැකි ය.
ගුරුවරයාට ඔහුගේ ගතිගුණ
සහ ගුණධර්ම පිළිබඳ ඇත්තේ සතුට ද මුසු වූ කණගාටුවකි. “අසමත් ම ගුරුවරිය ලෙස” යන අපූරු පාඨයකින් කතුවරිය ඒ හැඟීම රසිකයා වෙත
ගෙන එයි. “ඔබේ ගුණ වාර්තා පොතට ගත නොහැකි වූ” ලෙස ලාංකේය අධ්‍යාපනය ක්‍රමයේ
පවත්නා දුබලතාව ද මනාව පිළිබිඹු කරයි. පොතපතට පමණක් මූලිකත්වය ලබා දෙමින් විභාගය
ජීවන සාමාර්ථය බව පෙන්වන අධ්‍යාපන රටාව අන් දක්ෂතා ඇත්තා නෙරපා දමයි. මේ ක්‍රමයේ
වෙනසක් දැකිය යුතු නොවේ ද? පොත පතේ විභාග ජය ගත්තෝ , පාසල් වාර්තා පොතේ ඉහළ ම
සාමාර්ථ ගත් පිරිසට වඩා බාහිර සමාජය ජය ගත්තෝ සැබෑ ජයග්‍රාහකයෝ නොවේ ද? 5 වසර
දක්වා ඉගෙන ගත් අපගේ ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්, මන්දබුද්ධික යැයි පාසලෙන්
නෙරපූ ලෝක බුද්ධිමතා වූ ඇල්බට් අයින්ස්ටයින් මීට හොඳම නිදසුන් සපයයි. පොතපතින්
ලැබෙන දැනුමට වඩා සිත තුළින් උපදිනා ගුණධර්ම වටින්නේ එබැවිනි.
විභාග සාමාර්ථයකින් හෝ
සහතිකයකින් හෝ පුද්ගලයෙකුගේ දැනුම, හැකියාවන්, දක්ෂතා සහ දුබලතා තීරණය කළ නොහැකි
ය. මැනිය නොහැකි ය. මේ යථාර්ථය තේරුම් නොගන්නා තාක් සමාජමය අප සොයනා සුන්දරත්වය
ළඟා නොවනු ඇත. කතුවරිය ඒ මානුෂීය හැඟීම හරි අපූරුවට පාඨක සිතට සමීප කරයි. සරල ,
ගැමි බසක් උපයෝගී කරගනිමින් පාඨක සිත ස්පර්ශ කරන්නා වූ “ගුරු වලප” පද්‍ය පංතිය
ගුරුවරයෙකුගේ සිතට නැඟෙන පසුතැවිල්ලක්, රසික සිත්හි මනෝරූප මැවීමට තරම් ප්‍රතිභා ශක්තියකින් අනූන වෙයි. මේ පද්‍යයෙන් ද පැහැදිලි වන්නේ කලාව
වනාහි සමාජීය ගැටලු මෙන් ම පුද්ගල මනෝභාවයන් ඉදිරිදර්ශනය කරන හොඳම මඟ බවයි.
සුදී...
නම, ගම, වාසගම කියා
මා ඔබට මාව පැවරූයෙමි....
ඔබ ද ඔබව මට පැවරූ බව සිතුවෙමි
ඔබේ රුවක් මගේ ලෙයින් මවන්නට පින් නොලද්දෙමි
දැන ගතිමි නම් පෙර මීට
තබන්නේ නැත හිමිකමක්
නැවත පවරා ගත නොහැකි ලෙසින්...
ඔබ මට හමුවුණු දා මට මා හමුවුණා යැයි සිතුවෙමි
මුසාවකි.,
මට මා ද අහිමි විය...
හිත ගිනි ගෙන දැවෙන ගින්නේ උණුහුම ගෙන
අවසන් වරට ඔබට ලියමි
කිසිදා මෙසේ වෙන්ව යන්නට නැවත හමු නොවන්නෙමි...
මා සිතේ ඔබ කෙරේ ඇති සෙනෙහස සැබෑවක් මැයි,
ළඟ සිට විඳිමට නොහැකි තැන
දුර සිට දරාගන්නනට තීරණය කළෙමි....
සුදී...
අසන්නට සිත් පිත් හිමිව ඇත් - ඇසෙන්නට කන් වාරු නැති වූ
වඳින්නට වාසනා ඇති මුත් - අහක බලනා පව්කාර හිත්
දකින විට වෛවර්ණ කැටපත් - හඬ නගා යති සාධු සාධූ
ගමේ පන්සල වැන්ඳ පින් නැත - නගරෙ ධර්මය හොයා දුවතී
වෙසක් පෝදා රැක්ක සිල් නැත - දන්සලේ සිල් පහම රකිතී
ගමේ හිමි සඳ අපෝ හොඳ නැත - රේඩියෝවේ දහම් අසතී
දුගියෙකුට දිය පොදක් නොදෙනා - කැමරාව ළඟ පණත් පුදතී
රටේ සිව් කොණ ගිනි දැවෙද්දී - බුදුන් වැඩි රට කියා කියතී
හිතේ නැති සිල් කටේ මොකට ද - බුදුන් දුටුවොත් කඳුළු සලතී
සුදී...
කිසිදා කාට හෝ සම කළ නොහැකි, ගැහැණිය ගැහැණිය ම විය...
වරදක දි කාලියකගෙ වෙස් ගත්
ආලයෙ දි පත්තිනි සලඹ ගත්
ප්‍රේම වදනින් මුලාවට පත්
ගැහැණිය ම ගිනි කන්දකී....
පිරිමි හිරිහැර තැන නොතැන වත්
බිම බලා හිස හැම දරා ගත්
හැමගෙ බැල මෙහෙවර පුරා ගත්
ගැහැණිය ම උණු කඳුළකී...
මසක් ගානේ ඇඟට ගිනි ගත්
නව මසක් නව පණක් රැක ගත්
වේදනා පිට වේදනා ලත්
ගැහැණිය ම සම ගැහැණියකී...
සුදී....
දැක රළු පරළු තැන් ගෙන රසකර ලිවියා
දකිනා නොදකිනා හැම දේ දකින නියා
කවියා සමය වෙදැදුරෙකුට සිත නිවනා
ආලය, දුක් කටොක් ගිනි සඟවන්න සිතා
අන් සෙනෙහේ සතුට කොලවල රසට ලියා
රස බර වචන පද වැල් කොට තාල තියා
හද සනහා ගනී දුක් ගිනි පසෙක තියා
ප්‍රේමය නැති වුවෝ ප්‍රේමය ගැන ලියතී
සඟවා තම හැඟුම් කවි සිත් වෙත පනිති
තුඩඟින් මැවිය හැකි කවි ලෝකය මවති
තම දුක් නිවාලන්නට කවි වෙස් ගනිති
සුදී.....
මාක්ස්වාදය බොහෝ දුරට දේශපාලන මතවාදයක් ලෙස හඳුනා ගත්ත ද එය සාහිත්‍ය සම්බන්ධයෙන් ද විශ්වාසනීයත්වයක් සහ ආත්මීය ආභාසයක් ළඟා කරගත් සාහිත්‍ය විචාර න්‍යායකි. කාල් මාක්ස් (Karl Marx - 1818) විසින් හඳුන්වා දෙන ලද “මාක්ස්වාදය” 19 වන සියවසේ දී ලොව පුරා පැතිර යමින් ධනවාදයට සහ ලිබරල්වාදයට විකල්ප යෝජනා කළේ ය. මාක්ස්වාදී සාහිත්‍ය විචාරයේ මුල් අවධියේ දී අශිෂ්ට මාක්ස්වාදය නමින් හැඳින්වෙන දෙයට දායක වෙමින් බොහෝ මාක්ස්වාදී විචාරකයෝ සාහිත්‍ය ග්‍රන්ථ විචාර න්‍යායකරණයට ලක් කළෝ ය. මෙම චින්තනයේ දී සාහිත්‍ය ග්‍රන්ථ යනු ඕනෑම සමාජයක ආර්ථික පදනම අනුව තීරණය වන උපරි ව්‍යුහයේ එක් ලේඛනයක් වෙයි. එබැවින් ඔවුන් දක්වන්නේ සාහිත්‍ය ග්‍රන්ථ වනාහි සියලු සමාජ ආයතනවලට වඩා ආර්ථික පදනමේ පිළිබිඹුවක් ලෙසිනි. මානව සමාජ සබඳතා විග්‍රහයේ දී පවා මූලික වන්නේ ආර්ථිකයම බව ඔවුන් දක්වති. සාහිත්‍ය පවා සමාජ ආයතනයක් වන අතර කතුවරයාගේ දෘෂ්ටිය සහ පසුබිම මත සාහිත්‍යයේ තත්ත්වය තීරණය වන බව ඔවුන් දක්වයි.එමෙන් ම ඔවුන් දක්වන්නේ සංස්කෘතිය, කලාව, ජන මාධ්‍ය,අධ්‍යාපනය, නීතිය, දේශපාලන සහ සමාජ ව්‍යුහය යන උපරි ව්‍යුහයේ කොටස්, ආර්ථික ව්‍යුහය යන අධෝ ව්‍යුහය මත රඳා පවත්නා බවයි. ඉංග්‍රීසි සාහිත්‍ය විචාරක සහ න්‍යායාචාර්ය ටෙරී ඊගල්ටන් (Terry Eagleton-1943 ) මාක්ස්වාදී න්‍යාය පිළිබඳව දක්වන්නේ මෙවන් අදහසකි. ඔහු දක්වන්නේ මාක්ස්වාදය හරහා කම්කරු පංතිය පිළිබඳ පමණක් නොව සාහිත්‍ය කෘතියේ අභ්‍යන්තර ද විග්‍රහ කරන බවයි. මාක්ස්ට අනුව නිශ්පාදනවල සහ හිමිකාරිත්වය මත ගොඩනැගුණු පංති විරහිත සමාජයක් අපේක්ෂා කරන අතර ඔහු සහ ෆ්‍රෙඩ්රික් ඒංගල්ස් (Friedrich Engels-1820) කොමියුනිස්ට් ප්‍රකාශනයේ (The Communist Manifesto-1848) දක්වන්නේ ධනේෂ්වර යුගයේ අවසානය පංති විරහිත සමාජයක් බිහි කරන බවයි. පංති අරගලය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව යන සංකල්පයන් හරහා මාක්ස්වාදී සාහිත්‍ය විචාර න්‍යාය සමාජගත විය. මාක්ස්වාදී විචාරය පසුපස ඇති අදහස නම් සාහිත්‍ය කෘති වනාහි සමාජීය සහ ද්‍රව්‍යමය තත්ත්වයන් දෙස බැලීමෙන් විග්‍රහ කළ හැකි ඉතිහාසගත නිමැයුමක් බවයි. ඔහු දක්වන පරිදි සරලව කියතොත් කතුවරයාගේ සමාජ තත්ත්වය, වර්ධනය වන චරිත වර්ග , ප්‍රදර්ශනය කරන අදහස් ආර්ථික ප්‍රකාශනයන් තීරණය කරන බවයි. 1920 ගණන්වලින් පසුව ක්‍රමානුකූලත්වයට පත් වූ මාක්ස්වාදී සාහිත්‍ය විචාර න්‍යාය රුසියාවේ 1917 ඔක්තෝම්බර් විප්ලවයෙන් අනතුරුව සමාජවාදී පරමාදර්ශය පිළිබඳ විශ්වාසනීය වෙනසක් ඇති කළේ ය. සමාජවාදී යථාර්ථයක් ඔප්නැන්වූ මෙහි දී පංති අරගලය විශේෂණය කරගත් කලා ව්‍යාපාරයක් ආරම්භ විය. මෙම කලා ව්‍යාපාරය පදනම් කරගනිමින් ආරම්භ වූ මෙම සාහිත්‍ය න්‍යාය සෝවියට් සංගමයේ සාහිත්‍ය නිර්මාණ සහ නිල සාහිත්‍ය විචාර යන දෙපාර්ශවයටම මඟ පෙන්වූ අතර එහි දී විවිධ සමාජ පංති සහ ජීවිත කෙරෙහි අවධානය යොමු කරන ලදී. එතැන් සිට වසර කිහිපය තළ දී සාහිත්‍ය න්‍යාය සම්බන්ධයෙන් තිබූ දුර්මත දුරු කරමින් සාහිත්‍ය වනාහි සාහිත්‍ය නිර්මාණයක විශ්වාසයන්, ආත්මීය ආභාසයන් සහ කතෘගේ බාහිර පසුබිමෙහි මෙන් ම විෂයානුබද්ධ දැනුමේ ප්‍රථිඵලයක් බව පිළිගැනීමට ලක් වුණි. මෙම විශ්වාස පද්ධතිය සමාජ පංති මෙන් ම සමාජ, ආර්ථික සහ දේශපාලනික සංවර්ධනය මත රඳා පවතින බව මාක්ස්වාදී විචාරක මතයයි. මෙම න්‍යාය නව රුසියානු ව්‍යාපාරයේ මතවාදයත් සමඟ බද්ධ වෙමින් ලොව පුරා ප්‍රචලිත විය. සෝවියට් සංගමයේ බොහෝ කෘති පසුපස ඇති මූලධර්මය මෙය වන අතර බොහෝ බටහිර ලේඛකයන්ගේ අදහස් සඳහා ද මාක්ස්වාදය බලපෑවේ ය.