Friday, January 21, 2022

අසමත් ම ගුරුවරිය.

 

                         


                                               ප්‍රදීපිකා දේශප්‍රිය පතිරාජිණියන්ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ලෙසින්  “ගුරු වලප”   කාව්‍ය කෘතිය 2019 වර්ෂයේ දී සිංහල කලා කෘති ගොන්නට එක් වූ අතර එම වසරේ ම ගොඩගේ ජාතික කාව්‍ය අත් පිටපත් තරඟයේ දී ප්‍රශස්තම කාව්‍ය කෘතියක් ලෙසින් ද නම් ලද්දකි. අපට එදිනෙදා හමුවන සමාජමය මාර්තෘකා ඔස්සේ රසික හදවත් ස්පර්ශ කරන්නා වූ මේ ග්‍රන්ථයේ අන්තර්ගත පද්‍යයන්, අප නොසිතනා, අප මඟහැර යන, අප මායිම් නොකරනා සමාජීය, මානූෂීය හැඟීම් දෙස එබී බලයි. එහි එන ගුරු - සිසු සබඳතාවක් ගැන කියවෙන “ගුරු වලප”  පද්‍ය පංතිය ලාංකේය අධ්‍යාපන ක්‍රමයේ පවත්නා දුබලතා සහ කිසිවෙකුත් මායිම් නොකරනා අපූරු මානුෂීය  හැඟීමක් පාඨක සිතට කාවැද්දීමට ප්‍රබල වෑයමක් දරනු පෙනෙයි.

                   සෑම ශිෂ්‍යයෙක් ම අකුරු සාස්තරයට දක්ෂයෝ නොවෙති. එය තම තමා උපතින් ගෙන ආ මානසික ශක්තිය සහ කුසලතාව මත උරුම වන්නකි. බලෙන් පැවරිය හෝ දායාද කළ හෝ නොහැක්කකි. සැවොම එකම දෙයකට හපනුන් වන්නේ ද නැත. නමුත් ඒ යථා ස්වභාවය තේරුම් ගන්නේ ඉතා සුළු පිරිසක් පමණි. “ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියා අපගේ පැරැණ්නන් කීවේ කට කහනවාට නොවන බව කිව යුතුම ය. සෑම දෙයකට ම දක්ෂතා ඇත්තෝ මිහිපිට නොමැති බව ද එයින් නොකිය වේ. ප්‍රදීපිකා  පතිරාජිණියන්ගේ ගුරු වලප පද්‍ය ද එදා පාඩම් විභාගයෙන්  අසමත් වූ ශිෂ‍්‍යයෙකු අද ජීවන විභාගයෙන් සහ ගුණ දහමින් සමත්ව සිටිනු දැක ප්‍රගති වාර්තා පොතට ඔහුගේ ඒ සමත් වීම ගෙන ඒමට නොහැකි වූයේ මක් නිසා දැයි පසුතැවිලි වීම පද්‍යයට නඟා තිබේ.යම් මාර්තෘකාවක් ඔස්සේ ‍කෙතරම් නිර්මාණ ගොඩනැඟුන ද ඒ ඒ කතුවරයාගේ සුවිශේෂීත්වය මත නිර්මාණයේ පාඨක රුචි අරුචිකම් තීරණය වෙයි. නිර්මාණකරුවකුගේ දක්ෂතාවය ඉදිරියට පැමි‍ණෙන්නේ ඒ තුළිනි.

                    

                      හුළං නැති ස්කූටිය තල්ලු කරගෙන එනකොට

                      ළඟට දිව විත් ඇයි ටීච මක් වීද විමසන

                      විනාඩියකුදු නොයවා ගෙන සකලවිධ ආයුධ

                      මා නොකී අඩුපාඩු සොය සොයා සාදන

                  පද්‍යයේ ආරම්භයේ පටන් ම ශිෂ්‍යයා තුළ අදටත් එක ලෙස පවත්නා ගුරු ගෞරවය පාඨක සිතට ඒත්තු ගන්වයි. ගුරුවරයාට අකරතැබ්බයක් වූ විට දී එදා ඉහළ සාමාර්ථ ලබා පිටව ගිය සිසුනගෙන් නැති පිටිවහලක්, එදා අසමත් වුණු සිසුවාගෙන් ලැබීම පිළිබඳ ගුරුවරයාට ඇති වන්නේ පුදුමයක් සහ හදවත ඇතුළින් නැගෙන්නා වූ හිත කීරි ලන සුසුමකි. “ළඟට දිව විත් ඇයි ටීච මක් වීද විමසන” යන පදයෙන් ගුරුවරයාට පවත්නා යටහත් පහත් බව සහ ආදරණීය බව හඟවයි. අද ගුරුවරයාගේ බයිසිකලයේ අඩුපාඩු නොකියා ම  සෑදීම ගැන ගුරුවරයාගේ සිත තමාට ම වද දෙයි. තමාගෙන් ඉටු විය යුතු වගකීම හරි හැටි ඉටු වූවාදැයි සිත තුළ දෙගිඩියාවක් ඉපදෙයි.

                      සැවොම තැන නොතැනක් නොතකා, කිසිඳු කිළිටක් නොමැතිව මුදල් පසුපස හඹා  යන සමාජයක, පොතපතින් ගත නොහැකි දැනුම වුව ද ගුණ දහම් ද ජීවිතයට එක්කාසු කර ගැනීමට තිබෙන වග කතුවරිය පාඨකයාට ඒත්තු ගැන්වීමට මහත් පරිශ්‍රමයක් දරනු පෙනෙයි.

                      පසුම්බිය අරිනා විට

                       සල්ලි මොකට ද ටීච

                       ඕන වේලෙක එන්ඩ

                       කියමින් මජන් අත පිහිදන

                       වැඩියෙන් ම ගුටිකාපු අසමත්ම ශිෂ්‍යයා නුඹ 

දෙඅත මජන්වලින් කිළිටි වුව ද සිතඟෙහි පවත්නා සුපහන් බව කියා පාන කතුවරිය                             “කියමින් මජන් අත පිහිදන” යන පද්‍ය පාඨයෙන් ඔහුගේ රැකියාවේ පවත්නා දුක්ෂරතා සහ වෙහෙස මහන්සිය දක්වයි. “ඕන වේලෙක එන්ඩ” යන පාඨයෙන් ගුරුවරයාට කරන සුහද ඇරයුමක් සහ ආයාචනයක් දක්වන අතර වැඩියෙන් ම ගුටි කෑ, බැනුම් ඇසූ, අපහාස විඳි අසමත් යැයි සම්මත වූ සිසුවා වූ ඔහු ජීවන ගමනේ ඉහළ සාමාර්ථ ගනු දැකීම ගුරු සිත සසල කරයි.

                        ඔහුගේ කාර්යය උවමනාටත් වඩා හොඳින් ඉටු කළ ඔහු නැවත යතුර දී ගුරුවරයාට වඳින අවස්ථාව ගුරුවරයාගේ සිත දැඩි පසුතැවිල්ලකට සහ වේදනාවකට පත් කරයි. එය කතුවරිය අපූරු පද්‍ය පාඨයකින් හඟවයි.

                     යතුර දී මා අතට දණ නවා වඳිනා විට

                     යකුළු පහරක් වැදී දෙපළු විය පුතේ මා හදවත

ගුරුවරයාට ඇති වන සිත් වේදනාව යවුල් පහරකින් දෙපළු වන කළු ගලකට සමාන කරයි. එහි පවත්නා වේදනාකාරී බව මනාව උද්දීපනය කරයි. ගුරු ගෞරවය අදටත් රකිනා ඔහුගේ අසමත් යැයි එදා සම්මත කළ සිත තමාම අද අසමත් කළ පසුතැවිල්ලක් ඇති වූ බවක් කතුවරිය ඉදිරිපත් කිරීමට උත්සහ දරයි. ඔහුගේ නෙත් දෙස නොබලාම ආපසු යෑමට ගුරුවරයා තීරණය කරන්නේ එබැවිනි. ඔහුගේ නෙත් දෙස බැලීමට තරම් ශක්තියක් ගුරුවරයාට නොමැති බවක් ද දක්වයි.

                     “නොබලා ඔබේ ඇස් දෙස

                      බිම බලාගෙන හැරී යමි”  

“බිම බලාගෙන හැරී යමි” යන පාඨයෙන් ගුරුවරයා තුළ හටගත් කලකිරීම සහ වේදනාව කියා පායි. නොබලා, බිම බලාගෙන යන්නෙන් දුක්බර බවක් මුසු කරයි.

පද්‍යයේ රසවත් ම සහ සිතට කා වදින පාඨය වන ,

               “ඔබේ ගුණ වාර්තා පොතට ගත නොහැකි වූ

                අසමත් ම ගුරුවරිය ලෙස” දැක්විය හැකි ය.

ගුරුවරයාට ඔහුගේ ගතිගුණ සහ ගුණධර්ම පිළිබඳ ඇත්තේ සතුට ද මුසු වූ කණගාටුවකි. “අසමත් ම ගුරුවරිය ලෙස”  යන අපූරු පාඨයකින් කතුවරිය ඒ හැඟීම රසිකයා වෙත ගෙන එයි. “ඔබේ ගුණ වාර්තා පොතට ගත නොහැකි වූ” ලෙස ලාංකේය අධ්‍යාපනය ක්‍රමයේ පවත්නා දුබලතාව ද මනාව පිළිබිඹු කරයි. පොතපතට පමණක් මූලිකත්වය ලබා දෙමින් විභාගය ජීවන සාමාර්ථය බව පෙන්වන අධ්‍යාපන රටාව අන් දක්ෂතා ඇත්තා නෙරපා දමයි. මේ ක්‍රමයේ වෙනසක් දැකිය යුතු නොවේ ද? පොත පතේ විභාග ජය ගත්තෝ , පාසල් වාර්තා පොතේ ඉහළ ම සාමාර්ථ ගත් පිරිසට වඩා බාහිර සමාජය ජය ගත්තෝ සැබෑ ජයග්‍රාහකයෝ නොවේ ද? 5 වසර දක්වා ඉගෙන ගත් අපගේ ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්, මන්දබුද්ධික යැයි පාසලෙන් නෙරපූ ලෝක බුද්ධිමතා වූ ඇල්බට් අයින්ස්ටයින් මීට හොඳම නිදසුන් සපයයි. පොතපතින් ලැබෙන දැනුමට වඩා සිත තුළින් උපදිනා ගුණධර්ම වටින්නේ එබැවිනි.

විභාග සාමාර්ථයකින් හෝ සහතිකයකින් හෝ පුද්ගලයෙකුගේ දැනුම, හැකියාවන්, දක්ෂතා සහ දුබලතා තීරණය කළ නොහැකි ය. මැනිය නොහැකි ය. මේ යථාර්ථය තේරුම් නොගන්නා තාක් සමාජමය අප සොයනා සුන්දරත්වය ළඟා නොවනු ඇත. කතුවරිය ඒ මානුෂීය හැඟීම හරි අපූරුවට පාඨක සිතට සමීප කරයි. සරල , ගැමි බසක් උපයෝගී කරගනිමින් පාඨක සිත ස්පර්ශ කරන්නා වූ “ගුරු වලප” පද්‍ය පංතිය ගුරුවරයෙකුගේ සිතට නැඟෙන පසුතැවිල්ලක්, රසික සිත්හි  මනෝරූප මැවීමට තරම් ප්‍රතිභා ශක්තියකින්  අනූන වෙයි. මේ පද්‍යයෙන් ද පැහැදිලි වන්නේ කලාව වනාහි සමාජීය ගැටලු මෙන් ම පුද්ගල මනෝභාවයන් ඉදිරිදර්ශනය කරන හොඳම මඟ බවයි.


සුදී...

 

 

 

3 comments: