Saturday, December 17, 2022

වානේ මල්

 


                                                                          සෙවිල්ල

මම ඇත්තටම ආස කළා ගම ගැන හොයන්න. ඊටත් වඩා හිත් ඇතුළෙ සැරිසරන හංගිච්ච රහස් ගැන හොයන්න. පොත්පත්වලට වඩා රහස්, රසබර කතා මිනිස්සුන්ගෙ හිත් ඇතුළෙ හැංගිලා තියනව. සමහර ඒව කතන්දර වෙලා එළියට එනව. තවත් සමහර ඒව මිනිස්සුන්ගෙ හිත් අස්සෙම පොළවට පස් වෙලා යනව. ත්‍රාසජනක කතාවක වගේ රහස් හොයන්න ලෝකය පුරා ඇවිද්දෙ නැතත් මං දැනන් උන්න රහස් පිරිච්ච ගුහාව තිබිච්ච තැන...............

ඒ අත්තම්ලගෙ ගෙදර.......

ගෙයි ඉස්සරහ උළුවස්සෙ ඉදල  මිරිස්ගල ළඟට යනකල්ම රහස්.. අපේම අතීතෙ රහස්.... මං හොයන්න ආස කරපු රහස්.......  


...................................


ගෙයි මිදුලට ඇහෙන තරමට දමපු රේඩියෝව තාක්ෂණෙන් පිරුණ කොයි තරම් දේ තිබුණත් අත්තම්මට රසයක් ගෙනව. ගෙයි දොරකඩ වතුසුද්ද ගහේ මල් අාතගෙ ගෙලේ පළදන දා ඉදල රේඩියෝව ආ ගිය අතක් හොයා ගන්න නෑ. අත්තම්මගෙ හිත රිද්දන්න බැරි කමට මමත් ඉන් පස්සෙ ඒ ගැන අහන්න හිතුවෙ නෑ......

මම ආදරය ඉගෙන ගත්තෙ එතැනින්....

අාතයි, අත්තම්මයි ඒ තරමට ආදරෙන් උන්න. ඒක මතුපිටින්න ඔපගැන්විච්ච බොළඳ ආදරයක් නොවුනත් ඇතුළතින් සවිමත් අපූරු බැඳීමක්. පිරිමියෙක්ගෙන් ඉටු විය යුතු යුතුකම් ආතා අකුරටම ඉටු කළා. අත්තම්මට කිසිම දාක කෑමක අඩුපාඩුවක් කියන වගක් මගේ තාත්තාවත් අසා නොතිබුණේ එබැවින් විය යුතුයි. ආතා හැම වෙලේම කීවේ ගෑනියෙක් ඉන්නෙ පිරිමින්ගෙ බැල මෙහෙවර කරන්න නොවන වග. සුදුම පැහැ සරොම සහ කමිසය අඳින ආතා පැරිස් පවුඩර් සුවඳ අමතක කරන්නේ වෙලට යන විට පමණි. ගතින් මෙන්ම හිතින්ද පිළිවෙල ආතා පන්සල් නොගියත් සිල් රැක්ක මිනිහෙක් වග ගමම දැනන් උන්න.


 ආත ඉස්සර අපේ ගම ගැන අපූරු කතා අපිට කිව්ව. ගමේ දේවාලෙ හැඳුන හැටි ගැන හරි පුදුම කතා.ඇත්තටම මේව කතන්දර නැත්නම් කතාද කියල මට තවමත් ප්‍රෙහේලිකාවක්. ඒ කොහොම වුනත් මමත් ඒව තදින් විශ්වාස කළා.

අපේ ගමේ මිනිස්සු ගම් බාර දෙවියන් විදියට සලකන්නෙ කබලෑ දෙයියන්ව. ඒ වෙනුවෙන් ගම මැද  දේවාලයක් තියනව. ඇතුළු වන පාර අසබඩ තනන ලද අශ්ව ප්‍රතිමාව ගමටම අමුතුම ගාම්භීරත්වයක් එක් කළා. නුග ගස් පෝළිමක් දිගේ අැඳුන පටු මග දේවාල භූමියට ගම එක් කළා. දෙවොල අසලම තිබුණු සවිමත් වැටකින් වට කර රකින ලද කළු ගල් පර්වතය අසල නිතරම දැල්වෙන පහනින් ඒකාලෝක වුණා. ඒ කළු ගලින් තමයි මේ කතාව ඇරඹෙන්නෙ. මේක සියවස් ගණනාවකටම පමණ එහා කතාවක්. 


..............................................................


අපේ ගමේ දවසක් නොදන්න අමුත්තෙක් සැරිසරල තියනව. ඒක දැකපු ගමේ මිනිස්සු මේ කවුදැයි නොදැන ඒ අමුත්තව අල්වෙගෙන අර මං පෙර කීව කළු ගල් පර්වතයේ බැඳ තබල තියනව. ඉන් මත්තෙ ටික මොහොතකින් මේ අමුත්ත අතුරුදන් වෙලා හරි අපූරු සිද්ධියක් වෙල ගමට නොනවත්වා වැස්ස ඇඳ හැලිල. බය වුණ ගම්මු මේ වැඩිය ගම්බාර දෙයියන්ට අප කළ අපහාසයට දඬුවම කියල දෙස්දෙවොල් තියල වැඳ වැටිල අර ගල් පර්වතය ළඟ පූජා පවත්වල තමයි වැහි නවත්තගෙන තිවෙන්නෙ. අර ගලේ කඹයකින් බැඳ තබපු හන්ද "කඹ ලෑ" යන නමින් කබලෑ මුත්තා යන නමින් නම් තබල අදටත් පුද පූජා පවත්වනව.  


............................................................................

ආතම්මලෑ ගෙදර හරිම පිළිවෙලයි. ටයිල් පොළව ලස්සන ලස්සන පින්තූර, නැතත් හරිම එළියයි. ගෙට ඇතුළු වෙන තැනම එල්ලපු බුද්ධ පින්තූරය ළඟ හැමදාම උදේ හවා නොවරදවාම බුදු පාන දැල්වුනා. ගෙයි දොරකඩ ඉහළින් එල්ලාපු සීවලී හාමුදුරුවන්ගෙ පින්තූරෙන් ගෙටම සරු ඵල ගෙනල්ල අඩුපාඩු නැති වන බව අත්තම්ම විශ්වාස කළා. මකුළු දැලින් හැඩි නොවුනු රතු උළු වහලය අයිනට වන්නට කුඹුරින් කපන ලද මුල්ම වී මිට දෙයියන් වැඳුමට යන්නට එල්ලී තිබුණා. පසෙක තබපු මඟුල් පොටෝව අත්තම්මත් ආතත් හිනැහී උන්න අව්‍යාජ සිනහවකින්. නොකපන ලද උඩු රැවුලත් සිහින් දිගටි මුහුණ ඔපවත් කළ අතරම සුදු පාට නැෂනලයෙන් අමුතු ගෞරවාන්විත බවක් එක් වෙලා තිබුණා. මේකප් තට්ටුවකින් හැඩ නොවුණු අත්තම්මාගෙ මුහුණ මට පෙනුනෙ පැරණි නිළියක් වගෙයි. ඒ තරම් ලස්සනයි. සුදු ඔසරියකට දෑතින් ගත් ඇන්තූරියම් මල් පිවිතුරු බව ඔපවත් කළා වගේම කරේ බඳින ලද කොත්මල්ලි ඇට රැස් කර ගොතන ලද වන් තැල්ලකින් හැඩ වෙලා තිබුණා. ඒ මාලය එකල මුදලින් රුපියල් පන්දහසකට ආත හිතුමතේ විකුණාපු එක ගැන අත්තම්ම අදටත් දුක් වෙනව. අත්තම්ම කියන්නෙ තමන්ගෙ කියල කාටවත් ඒක මිලට ගන්න වත්කමක් තිබුනෙ නැහැ කියලයි.


සාලය ඉහළින් එල්වා තිබුණ බට්ට ඔරලෝසුව නිවසටම අමුතු පෙනුමක් එක් කළා. පැයකට වරක් බට්ට නාද වන එය හරියටම වෙලාව පවසන මහල්ලෙක් ගානයි.   " ටින්...ටින්...ටින්..." 

වෙලාව තුනයි දරුවෝ.. අත්තම්ම මුමුනණව.  ඒකත් එක්තරා විදියක රහසක් කියලයි මට දැනුනෙ. සාලයෙන් එක් කාමරයකට යන මග නිමවෙලා තිබුණ. ඒ අපේ තාත්තලත් කුඩා කලෙ ඉදපු මතක ගොඩක් පිරුණු තැනක්. වැඩියෙන් අත්තම්මට. අත්තම්ම මඟුල් සාරියෙන් මේ ගෙදරට පය තිබ්බ දා ඉදල වුනු රසවත් සිදුවීම් ගොඩක් ඒ මතක අතර ගොනු වෙලා තිබුණ. 

ඒ කාලෙ සෙරෙප්පු අපි අද පාවිච්චි කරනව වගේ පාවිච්චි කරල නෑ වගේම එහෙම පාවිච්චි කලා නම් ඒ විශේෂ ගමනකට විතරයි. ඒ වගේම නැන්දම්ම ලේලි අරගලත් ඒ කාලේ හරි දරුණුවටම තිබිල තියනව. කොහොමින් හරි වැස්සට ළිද ළඟ උල්දිය ගලල තිබ්බ දාක අත්තම්ම කළෙත් අරන් ළිඳට ගිහින් සෙරෙප්පුත් දාගෙන, ඕක දැකපු ආතගෙ අම්ම හරි ලස්සන ඇනුම් පදයක් කියල තිබ්බ.

" ආවෙ තුත්තිරි අල්ල අල්ල. යන්නෙ තංගුස් අල්ල අල්ල.."

ඒ කාලෙ අත්තම්මට හිත රිඳුනත් එතනත් තිබුණ අමුතු බැඳීමක්. අදටත් අපේ අත්තම්ම ඈට වරදක් නොකියන තරමට. 

දම් පැහැ මල් වැටුණු සුදු පැහැ චීත්තයත්, සුදු පැහැ අත් බෝරිච්චි දමපු හැට්ටෙනුත් සැරසුනු අත්තම්මගෙ මුවෙ නැෙගන සිනහව අදටත් හරිම සිරියාවන්ත බවක් පෙනුන. අත්තම්ම තනියම ගෙවන ජීවීතේට අපේ තාත්ත කොයිතරම් දොස් කිව්වත් ඈ ඒ මතක තනි කරල එන්න කැමති උනේ නෑ. ඇ ඒ තරමටම ඒ මතකයන්ට ආදරය කළා. මම එහි යන හැමදාම මට කඩචෝරුවක් හදල දෙන්න ඈ අමතක කළේ නම් නෑ.


"අද මොනාද අත්තම්ම හදන්න යන්නෙ.?"


"මම බැලුවෙ දරුවො අද අග්ගලාවක් හදන්න...."


"අපි කට්ලට් හදමුද?" මම යෝජනා කළා.


අත්තම්ම ඒකටනම් කැමති වූණේ නෑ. අනේ දරුවො අද කෙම්මුර දවස. ඒ මදිවට අද පත්තිනි සලඹ ගමට වඩම්මල ආශිර්වාද ගන්න දවස. පිළී ජාති හදන්න හොඳ දවසක් නෙවෙයි අද. අත්තම්මගෙ ඒ ආදර බර වචනවලට මටත නොදැනි මං හීලෑ වුණා. අත්තම්ම ගෙට ගිහින් මට කොළයක් ගෙනත් දුන්න. 

දැන්වීමක්.....

මම හයියෙන කියෙව්ව.

        

 චාරිත්‍රානුකූල පොර පොල් ගැසීමේ                          

            මංගල්‍යය

2023 වර්ෂය ගම්වාසී රටවාසී සියලු දෙනා හට මතු බුදු වන පත්තිනි අමමාගේ සලඹ ගමට වඩම්මවා ආශිර්වාද ලබා ගැනීම සඳහා මාදෙල්ගමුව ලයනල් මහතාගේ පොරපොල් කණ්ඩායම සහ කටුපොත තිලක මහතාගේ පොරපොල් කණ්ඩායම 2022/12/24 වන සෙනසුරාදා උදේ 9.00ට රද්දලාන නාගම ශ්‍රී රතනජෝත්‍යාරාම විහාරස්ථානයේ දී සිදු කෙරේ. මේ මහඟු කාර්යය දැක බලා දේවාශිර්වාදය ලබා ගැනීමට සියලුම දෙනාට මෙයින් ඇරයුම් කරමි. දෙවි රැකවරණයි....!

                           මෙයට,

                         ලේකම්

                දායක කාරක සභාව 

    රද්දලාන, නාගම ශ්‍රී රතනජෝත්‍යාරාම  විහාරස්ථානය


අනේ අත්තම්මෙ අපිත් යමුකො.

අත්තම්ම හා කියල අනුමත කරන්න වගේ ආදරෙන් හිස සිම්බා.


සුධී....

No comments:

Post a Comment