Friday, December 9, 2022

වානේ මල්

පළමු දිගහැරුම


කිරි දානෙ

සුදු ඇඳගත් ආත්තම්මලාගෙන් ගෙයි මිදුල වැසී තිබුණා. කිරි ඉද්ද මල් වතුසුද්ද මල් දෑතම ඉඹගෙන උන්න. කිසිම කසු කුසුවක් නැතිව වටපිටාවත් හරිම නිහඬයි, සිල් අරගත්ත ගානට. මුහුණු පුරාම සිහින් සිනහ රැලි එක්කල කැටි වෙච්ච පින් පාට. හැමදේම සූදානම් කරල අහවර වෙච්ච අම්ම කුස්සිය පැත්තෙ ඉදල කඩිමුඩියෙ දුවගෙන ආව ගේ දොරකඩට...

පත්තිනි මෑණියන්ගෙ පිහිටයි..! අපි මේ කටයුත්ත පටන් ගමු එහෙනම්. ඉදිරියෙන්ම උන්න අත්තම්ම කිව්ව.
වතුර භාජනයත් තියාගෙන දොරකඩ උන්නෙ මං. එකත් මට හරි අසීරු කටයුත්තක්. සුදුම පාටින් මල් වැටිච්ච චීත්ත රෙද්දට සුදුම පාට හැට්ටයක් අඳල කිරි සුදු සලුවක් ගෙල පුරා එතිල. ඒක හරි අපූරුයි.
අත්තම්මලාගෙ පාද දෝවල සාල හරි පිළිවෙලට හදල තිබ්බ පැදුරු එක්ක ඉදිරිපිටින් උස් ආසනේක පිහිටවල තිබ්බ බුදු පිළිමෙ ළඟ බුදු පහන දැල්වුනා. හඳුන්කූරු සුවඳ ගේ පුරාම පැතිරුනා. තම තමන්ගෙ වයස් පිළිවෙලට ඉඳ ගත්තු අත්තම්මල බුදුන් වඳින්න අපිටත් ආරාධනා කළා. හැමෝගෙම හිත් වගේම දෑත් බෑ නොකියම නලලත මුදුන් වුණා.
අත්තම්මලාගෙ දෝතින් වැඩිය සුදු මල් පොකුරු බුදුන් වඳින සැටි මම ඇස් පිය නොහෙලා බලා උන්න. පහන දැල්වෙන අසලම පත්තිනි මෑණියන් වැඩ ඉන්නව. කාන්තාවකගෙ තියෙන්න ඕන ඉහළම ගති ඈ ළඟ... අපේ අත්තම්ම මට කියල දීල තිබ්බ.
.....................................................................
ඈ ඇත්තටම ආදරණිය කාන්තාවක්. අන් අයට පිහිට වන, ආදරයට ආදරයම දුන්නු. අඹ ගෙඩියෙන්, නයි කඳුළෙන් උපන් හැටි, ඈට වුණු අසාධාරණයට වම් පියවුර පොළොවෙ ගසල ඈ මුළු පඬි පුරයම ගිනිබත් කළ හැටි අත්තම්ම මට කියල දීල තිබ්බ. දහය වසරෙ ඉතිහාසෙ පොතේ තිබ්බ හැටියට නම් ලංකාවට මේ පත්තිනි දේව වන්දනාව ආවෙ ගජබා රජ්ජුරුවන්ගෙ කාලෙ. පාද සලඹ අතින් ඔසවාගෙන රන්වන් සිරුරින් ඔප වැටුණු ඕතොමෝ හැමදාම අපේ බාරහාරවලට පිහිට වුණ බවත් මා දැනන් උන්න. එක් වරක් මට මතක ඇති කාලෙ අපෙ ගමට ආපු නියඟෙකින් ගම බේර ගන්න ගම් කෙරවළ නුග ගහ ළඟ පත්තිනි මෑණියන්ට බාරහාර වෙලා දින දෙකෙන් ගමට වැස්ස කඩන් වැටුනා. ඒව මම අහපු දේ නෙවයි මම දැකපු දේ. ඒ වගේම එදා ගමේ ආරවුලකුත් සිද්ධ වුනා. 
අපේ ගම අදටත් දෙකඩ වෙච්ච ගමක්. ඇත්තටම ඒ ගඟකින්වත් පවුරකින්වත් නෙවෙයි මිනිස්සුන්ගෙ හිත්වලින්. ගමෙ පොදු වැඩකදි ආරවුල් ඇති වුනේ ඒ නිසයි. බාරෙ ඔප්පු කරන්න ගමෙ එක් කොටසකට ආරාධනා නොකෙළ ඒ අයගෙ පා හෝදන එක මදි කමක් කියල හිතලලු ඒ අයගෙ කුලේට. අපේ තාත්ත තරමක් කෙන්තියන් කියනව ඇහුනා. අපේ අම්මටත් බාරෙට බුලත් කොළයක් ලැබිලත් තාත්ත අම්ම බාරෙට හිඳ ගන්නවට අකමැති වුණේ ඒ නිසාම වෙන්න ඇති කියල මට හිතුණ. බාරෙට ආරාධනා කරන බුලත් කොළේ පිළිනොගන්න එක වරදක් බව දැනන් උන්නත් මෙහෙම තැනකදි ඒක වරදක් නොවන බව ඔවුන් දැනන් උන් බවත් මට හොඳහැටි වැටහුණා.
කොහොම වුණත් පත්තනි මෑණියන්ගෙ පිහිට ගමට කවදත් තිබුණ. අද අපේ ගෙදර මේ බාරෙ ඔප්පු කරන්නෙ මගෙ උපන්දිනේ වෙනුවෙන්. ඒක මං පුංචි වයසෙදි ඉදල කරන චාරිත්‍රයක් වගේ මට දැනෙන්නෙ. කොහොමින් කොහොම හරි දැන් මේ කටයුත්ත හරි අපූරුවට කෙරි ගෙන යනව.

.......................................................................

අඹෙන් උපන් පත්තිනි            දෙවියන්ටයි
සමන් දෙවිඳු සහ කඳ                සුරිදුන්ටයි
නාග පතිනි යන හැම ග්‍රහ         දෙවිදුන්ටයි
වැඳ වැඳ පින් දෙමි නිවන්.          දකින්නයි

කලක් වෙලේ සිට ඇප කැප         වෙනවා
ගොම පිරි බඩගා පිරිසිදු               වෙනවා
නොයිඳුල් දානේ පින්               පමුනනවා
පත්තිනි අම්මා මතු                බුදු වෙනවා  

නිලඹ පලයෙන් යුත්
ගිනි මල් සලඹ දරමින්
ගිනි මාල පටගෙන්
මෙ අප දෙන පින් ලබන්නට එත් .............................


දින ගනනාවක් තිස්සෙ පිළියෙල කරපු දෙයියන් කැවුම්, කොන්ඩ කැවුම්, අතිරස, කොකිස්, අලුවා, වැලිතලපත් උදෑසනම ගමේ නැන්දල කඩිමුඩියෙ හදපු කිරිබත්, කිරිපැණි වගේම වත්ත පහළ වලට මුවා වෙලා දුමට බයේ ඉදුන කෙසෙල් ගෙඩිත් පූජාවට සූදානම් වෙලා උන්න. සිරිතෙ හැටියට ඔක්කොම ජාති හතයි. කිරිඅම්මල හත්දෙනාට එක් වර්ගෙකින් හත බැගින්. මමයි, අම්මයි තාත්තයි, නංගියි ඉතිරි පස් හය දෙනයි කැවිලි පෙවිළි පූජා කළා. දැන් ඉඳුල් කරන වෙලාව. සුපුරුදු පරිදි අත්තම්මල හුඟ දෙනෙක් කෙසෙල් ගෙඩියකින් ඒ චාරිත්‍රය ඉටු කළත් සමහරු ඉන් සෑහිමකට පත් වුණේ නෑ. වෙලාව හරියටම පාන්දර පහ හමාරයි. දැල්වුණ පහන් දෝතින් රැගත් අත්තම්මල නිවැසියන්ට පිහිට පතන්න පටන් ගත්ත. හිසේ වත් කරන පහන් තෙලින් අප හැමගේම සිත් තුළ තිබුණ දුක් සංකා තෙත් වෙල වියැකිල ගිය බවක් දැනුනා. ඇත්තටම මේක මානසික ප්‍රතිකාරයක් ඈත අතීතෙ අපේ මුතුන් මිත්තො නිර්මාණය කරපු. මට දැනුනෙ එහෙම.
කිරි පොල් කට්ට අතට ගත්තු වයස්ගතම අත්තම්ම ගෙයි ඉදිරියට හරිම සංයමයෙන් ගමන් කළා කවුරුත් බලා උන්න. මුමුනන යමක් නොඇසුනත් ඒ බුදුගුණ බව මට වැටහුණා. ගෙයි වහලයට ඉහළින් ගිය කිරි පොල්කට්ට වහලයේත් වැදී බිම වැටෙන හඬට අපි සැවොම කන් දුන්න. 
මුලු ගෙදරම අලුත් එළියක් වැටුණු ගානයි. ගෙදරටත් වඩා අපේ හිත්වලට. අහල පහළ ගෙවල්වලටත් ඉර එළියත් එක්කම ගිහින් අපි කැවිලි බෙදුව. 

No comments:

Post a Comment