Saturday, January 22, 2022

මට හිඳින්නට පිනක් නැතුවා.




 කෙටි ම කෙටි කෙටි පුංචි කවියක් හිත කොනේ හොර හොරා                            ඇඳුනා

මටත් නොදැනි ම හිතට නොහැඟි ම සිහින් මඳහස් සිනා                                     නැඟුනා

පුංචි බණ්ඩිය තවත් ලොකු වී කිරි සිනා රැලි නෙතඟ                                           මැවුණා

අප්පච්චි නුඹෙ ළඟ සිටන් හැම වෙලාවේ මගෙ හිතට                                           එබුණා


රස බොජුන් පැන් ළඟට ගෙන දී ආදරෙන් හිස සිඹී                                             හැමදා

අද ද හෙට දැයි දිනත් ගනිමින් රෑ දවල් හිත හීන                                                  මැවුවා

රෝස නිල් පැහැ පුංචි රෙදි පොඩි ගේ පුරා හැම තැන ම                                      තිබුණා

පුංචි පවුලක සෙනේ පුරමින් එකට ඉන් හැටි හීන                                               ඇඳුණා


හරියට ම රෑ දොළහ මාරයි මගේ කුස තදියමින්                                                  දැවුණා

දරා ගනු බැරි තැන ම මොර දී අප්පච්චි පිට තැලුම්                                              දුන්නා

ගමේ වෙද ගෙයි ඇදක් මත හිඳ නුඹව වැඳුවයි මටත්                                          දැනුණා

අප්පච්චි නොම තනි කරන් පුත මට හිඳින්නට වාරු                                           නැතුවා


දමා යාමට නොහැකි මුත් මට යන්ට කාලය ඇවිත්                                              තිබුණා

කිරි සිනා රැලි මැදින් මා සිත ගිනියමින් හොර හොරා                                          දැවුණා

මගේ හිමියනි තුටින් ඉනු මැන  මගේ අවසන් පැතුම                                           පැතුවා

අප්පච්චි නොම තනි කරන් පුත මට හිඳින්නට පිනක්                                           නැතුවා



සුදී...


8 comments: